රෝමාන්තිකයා (3)

‍රෝමාන්තිකයාගේ පෙර කතාවට – රෝමාන්තිකයා (2)

ඉඩෝරයකදී ඉරි තැලී යන පොළොවකට ඇත්තේ එකම අපේක්ෂාවක්. වැස්ස. වැස්ස ඇවිත් පොළොව කවදාක හෝ තෙත් කරාවි යැයි, තෙත් කරමින් මේ කර්කශ පීඩාව නැති කරාවී යැයි කුඩා අහිංසක බලාපොරොත්තුවක්.

විරහවෙන් ඉරි තැලී ගිය හදවත් වලටත් තියෙන්නේ ඒ වගේම එක බලාපොරොත්තුවක් පමණයි.

මම හිටියේ වැව රවුමේ බංකුවක් උඩ. සිය ජීවිතයේ ඉලක්ක හඹා යමින් හැල්මේ දුවන මිනිසුන් නොවූ මිනිසුන් දෙස බලාගෙන. බොහෝ විට මා ලියනා දෑ වල චරිත උපදින්නේ මා මේ හිදගෙන සිටින බංකුව උඩදීමයි. ඒ වගේම මගේ ජීවිතයේ ඉතාමත් ආදරණීයම කාලපරිච්ඡේදය අවසන්ව යන්නේත් මේ බංකුව උඩමයි.

පෙර කීවා සේම මා අද නුවර පැමිණියේ නිශ්චිත අරමුණක් හෝ ගමනාන්තයක් ඇතිව නොවේ. නමුත් මම දැන් වෙනදා මෙන්ම මගේ ගමනාන්තයට පැමිණ තිබේ. අද මා සොයන්නේ මගේ නවකාවේ කල්පිත අවසානයට අවැසි මානුශීය පුද්ගලානුබද්ධ අදහසක්. ඉතින් ඒ සදහා වඩාත්ම උචිත ස්ථානය මේ කතාව ඇරඹි ස්ථානයම මිස අන් කවරක් ද?

මම යුවතියකට පෙම් කළෙමි…!

ඇය ඉතා රූමත් ළදක් වූවා ය. සිහින් සිරුරක් ද ඉණ තෙක් වැවුණු කෙස් රැල්ලක් ද සහිත වූ ඈ බොහෝ සුන්දර වුවනකට හිමිකම් කීවා ය. ස්වකීය හඩ අවදි කරන විට කුරුල්ලන් දහසකගේ මිහිරි කුජනය වුවද පරාජය කළ හැකි ඈ හට පිරුණු නිතඹක් ද සිහින් පයෝධර ද සහිත වූ අතර ඇය මිහිපිට සුරංගනාවක් යැයි මම තවමත් අදහමි. ඇය එතරම්ම සුන්දර ය.

මම ඇයව හදුනාගන්නේ නුවර අහස යට දී ය. ඇය දැක්ම අහම්බයක් මෙන්ම ඇය සමග මගේ ගෙවුණ ජීවිතය ද හුදු අහම්බයක්ම යැයි මට දැන් සිතේ.

ඇය පිළිබදව මා සිත තුළ තිබුණේ ආදරයක් යැයි මම සිතුවෙමි. ඇය දුටු මොහොතේ පටන් ඇයව මගේ කරගන්නට සිතුවා විණා, ඇයගේ පෙර ජීවිතය හෝ වත්මන් ජීවිතය හෝ ඇගේ ආකල්පයන් පිළිබදව මා කිසිසේත්ම නොසිතුවෙමි. මම ඇය පිළිබදව දැන සිටියේ ඇගේ පෙනුම හා නම ම පමණකි. ඉතින් මා එය ආදරයක් යැයි පැවසීම එයට ගැළපේ ද?

ඇය හා හාද වන්නට මට වසරකට වඩා ගතවී ය. ඇය බොහෝ සුපරික්ශාකාරී යුවතියක් වූවා ය. එම වසරක කාලය තුළ ඇය මට වඩාත් සමීප වූවාට අප අතර ඉන් එහා දෙයක් නොමැති යැයි මට දහස් වරකට වඩා ඒත්තු ගැන්වූවා ය. 

නමුත් මා යමක් පැවසිය යුතුය. අත්‍යාන්තයෙන් මා බොළද පෙම්වත් බවකට ආශා කරන්නෙක්මි. මට අවශ්‍යය වූයේ ඇය මාගේ පෙම්වතිය බව ලොවට හඩගා කියන්නට ය. ඒ සෑම මොහොතකම ඇය මුණිවත රැකි අතර එය උග්‍ර වූ අවස්ථාවක පමණක් අප පෙම්වතුන් නොව මිතුරන් යැයි සපථ කරන්නී ය.

නමුත් අප අතර මේ ඇලීම ඇතිවී වසරක් ගතවූ තැන ඇයගෙන් මා ආදරය ඇයැදි විට ඇය මට ස්වකීය කැමැත්ත ප්‍රකාශ කර සිටියා ය.

මා පසුකර ගිය මෝටර් රථයේ නොපෙනී යන ඡායාව දෙස බලන මට දැන් මෙහෙම දෙයක් සිතෙනවා. ඇය ඇත්තටම මට කැමැත්ත ප්‍රකාශ කළා ද නැතහොත් මා වසරක් තුළ අඛණ්ඩව ඇය පසුපසම යන නිසා එම හිසරදයෙන් ගැලවීමට මට කැමැත්ත ප්‍රකාශ කළා ද?

ආදරය කියන්නේ ආත්මාර්ථකාමීත්වයට.

බොහෝ වෙලාව ආදරය කරනා පුද්ගලයින් නිතරම තමන්ගේ සතුට අරමුණු කරගන්නවා මිසක් අනෙකා පිළිබදව ඇත්තටම සිතන්නේ බොහෝ අඩුවෙන්.

 දැන් ඔබ පවසයි පරාර්ථකාමී ආදර කතා අනන්තවත් තියෙනා බව,

 මොහොතකට සිතන්න. 

ඔබ ඔය පවසන පරාර්ථකාමීත්වය තුළත් තියෙන්නේ උන් උන් ගොඩනගාගන්නා අසම්බන්ධිත ආත්මාර්ථකාමී චේතනාවන් වසන් කිරීමට යොදාගන්නා උපක්‍රමයක් නොවේ ද? අපි කැමතියි තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය තමන්ගේම වනවාට, නැතිනම් මහා පරිත්‍යාගයක් ලෙස පෙම්වතිය හෝ පෙම්වතා අතහැර දමන පුද්ගලයා ඒ පිළිබදව දුක්වන්නෙත් පසුතැවෙන්නේ ත් ඇයි? මතවාදී ගැටුම් ඇතිවන බොහෝ අවස්ථාවල දෙදෙනා සමථයකට පත් වන්නට උත්සාහ කරන්නෙත් මේ සම්බන්ධය නැතිවේ යැයි කියන කාරණාව මතම නොවේ ද? එය හුදෙක් තමන්ගේ සැපත ඉලක්කකොට ගත් ආත්මාර්ථයක් නොවේ ද? 

ඇය මා හට කැමැත්ත ප්‍රකාශ කළ දිනයේ මේ ලොවම ජයගත්තාක් වැනි හැගීමක් මට ඇතිවුණි. ඇත්තෙන්ම මා හට දැනුනේ මා පරිපූර්ණ මිනිසෙකු බවය. මේ ලොව මා ලබා ගත් උපරිම සම්පත මා ලබා ගත් බවයි.

නමුත්..? 

Advertisements

රෝමාන්තිකයා (2)

රෝමාන්තිකයාගේ පසුගිය කතාවට – රෝමාන්තිකයා (1)

නුවර නගරය පිළිබද යමෙකු විමසුවහොත් මම කැමතියි කියන්න, නුවර හරිම හිංසාකාරී තැනක්.

දහස් සංඛ්‍යාත මිනිසුන් අනීවාරතේ ඇවිද යන, දහසක් වාහන නොනවත්වා චලිතයේ යෙදෙන, දස දහසක් වූ නෙක ශබ්ධයන්ගේ වා තලය දූෂිත, හුස්මක් ගත් සැණින් දුහුවිලි සමග මිශ්‍රිත කාබන්ඩයොක්සයිඩ් ආඝ්‍රාහණය වන දහඩිය වගුරන නගරයක් තමයි නුවර. ඔබ සිහි තබාගත යුතුයි. නුවර යනු බෞද්ධයින්ගේ පූජනීය නගරයක් වූවාට මෙහි නූතන පරිසරය අපේ සිත් කිසිසේත්ම සැනසිල්ලේ තබන්නක් නොවන බව.

මම නුවර ගැන වැල්වටාරම් පවසමින් ඔබ චිත්ත පීඩාවකට තවදුරටත් පත් නොකරන්නම්. මා කියමින් සිටියේ මගේ කතාව. මම කැමති නෑ එක දිගට කතාවක් පාඨකයාට කියන්න. සමාවෙන්න ඒ පිළිබදව. ඒ මගේ හැටි.

ගුඩ් ෂෙඩ් නැවතුමට බසය පැමිණි පසුව බස් රථයේ සිටිය උන් දොරටුව දෙසට දුවන්නට යෙදුණේ කඩි ගුලක් ඇවිස්සී ගියාක් මෙන්. මට මේ කලබලය මැද මිනිස්සු එක්ක තෙරපෙන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ. මන්ද මට ඒ මොහොතේ කිසිදු හදීසියක් හෝ අරමුණක් නොතිබුණ නිසා. 

කඩි ගුල ඇවිස්සී නලියන ආකාරය පිළිබදව සිතමින් සිටිය මට එකවරම ඇය සිහිපත් වුණා.

ඇය අසුනින් නැගිට සිට තිබුණා. මට පිටුපා සිටිය හෙයින් මට පෙනුනේ ඇගේ නාරි දේහයේ පශ්චාත් පෙදෙස පමණයි.

මම කියන්න ඕනි. ඇය කුඩා ළදක් තමයි. නමුත් පිරිපුන් නිතඹක් ඇයට තිබුණා. ඒ වගේම කඩා හැලෙන කෙස් කළඹකුත් ඇය සන්තකයේ තිබුණා. ඒ කෙස් කළඹට ඇය උපරිම සත්කාරයක් දක්වා තිබුණ නිසාදෝ සිනිදුවට කඩා හැලෙන දිය ඇල්ලක් වගේ බොහොම සුන්දරව එය ඇගේ හිස මතින් දෙදණ සමීපයට ගලා හැලෙමින් තිබුණා. 

ඇය අඩි පහක් උස ඇති. පිරිපුන් නිතඹක් සහිත වුවත් ඇය උස අනුව කෙට්ටුවටයි පෙනුනේ.

‘‘ මිටි කෙල්ලෙක්…“ මගේ හිතට සිනාවක් නැගෙන්නට ඇති. එය මගේ මුහුණින් ද පිළිබිඹු වූවාට සැකයක් නෑ. ඒ මොහොතේ පසුපස බැලූ ඈ මගේ සිනාව දැකගත් බවටත් කිසිදු සැකයක් නෑ. 

ඇය මට දැක්වූවේ බොහෝම සීතල ප්‍රතිචාරයක්….! (ද?) නැහැ. ඔබ එසේ සිතුවාට ඇය මට සුන්දර සිනහාවකින් සංග්‍රහ කළා කිව්වොත් ඔබ ඇත්තටම පුදුම වේවි. නමුත් මා ප්‍රිය පාඨකය. විශ්වාස කරන්න. ඇය මා හා සිනාසුණා ය. 

තත්පර කිහිපයක අපේ නෙත ගැටුම හා සංතෘප්තිදායක සංතෘෂ්ඨි හුවමාරුව සැණින් නැතිව ගියා. ඇය බසයෙන් බැස ගියා.

මේ මොහොතේ පිරිමියෙකු නැතහොත් තරුණයෙකු ලෙස මා කළ යුත්තේ ඒ කෙල්ල පසුපස හඹා යෑම. ඔව්, මම පිළිගන්නවා. නමුත් මගේ හිත ඒ මොහොතේ ඇය සමීපයේ නොතිබුණ බව මා ඔබට පැවසිය යුතු යි. මේ කර්කශ නුවර ටවුමට මා පැමිණෙන්නේ වෙනත් අභිලාෂයකින්. ඒ අභිලාශය අර ළද පසුපස හඹා යෑමට වඩා මූලිකත්වයක් ගන්නක්.

මම කව්ද?

මම දනිමි. දැන් ඔබට තිබෙන විශාලතම ගැටළුව මම කව්ද කියන කාරණය බව. 

මමත් ඔබ වැනිම මිනිසෙක්. විසල් සාමාජයක ජීවත් වෙන පුංචිම පුංචි කටුස්සෙක්. මමත් මට හිතෙන හැම වෙලේම පාට වෙනස් කරගන්නවා. නැතිනම් මට කොහේද කටුස්සන් අතර පැවැත්මක්…? 

බොහෝ විට මිනිසාගේ මූලික තැනුම් ඒකකය ජෛව විද්‍යානුකූලව සෛල වූවත් මට අනුව මිනිසාගේ මූලික තැනුම් ඒකකය හැගීම්. බොහෝ විට මෙම හැගීම් වලට අපි මානුශීය හැගීම් යනුවෙන් විශේෂණයකුත් එකතු කරනවා. ඒ විශේෂණය කෙසේ වෙතත් අපි කරන සෑම දෙයකම පදනම වැටිලා තියෙන්නේ මේ හැගීම් නම් මූලික ආකෘතිය හේතුකොටගෙන මිසක් වෙනත් කිසිදු සාධකයක් නිසා නොවේ. 

මම හැගීම් දඩයක්කාරයෙක්…!

ඔව්. මං මිනිස්සුන්ගේ හැගීම් දඩයම් කරනවා. දඩයම් කරලා මම නිකන්ම ඉන්නේ නැහැ. මම ඒ හැගීම් මගේ කරගන්නවා. ඔබ කියයි මම හොරෙක් කියලා. නැහැ. මම හොරෙක් නෙවෙයි. උගුල් කාරයෙක්වත්, මිනීමරුවෙක්වත්, මංකොල්ලකාරයෙක්වත් නෙවෙයි.

මම ලේඛකයෙක්…!

ලේඛකයෙකුට සිතුවිලි ගලාගෙන එන්න නම් ඒ සිතුවිලි ඌණනය වන උල්පතක් තිබිය යුතු යි. බොහෝ ලේඛකයින් වාගේම මටත් මගේ චිත්ත පරිකල්පනාවන්ට ජීවය දෙන්න හේතු සාධක වූ උල්පත් විභවයක් තිබුණා. අද මම මේ ලියන යමක් වේවිද ඒ සියල්ල ඉපදුණේ මං පෙර කීව උල්පත කේන්ද්‍රකොටගෙන.

විරහව කියන්නේ හදවතේ සියුම්ම තැන් රිදෙන එකට. ඒ රිදෙන සියුම් තැන් ආයේ ආයෙත් පාරවමින් රිද්දාගැනීමකට. 

වේදනාව උපදින්නේ විරහවේ ප්‍රතිමූර්තියක් ඇති කරවන්නට. රිදෙන නොරිද්දෙන සෑම අංශු මාත්‍රයකම පීඩාවක් ඇති කරන්නට. කොටින්ම හුස්ම ගත්තත් ඔබට හුස්ම නැවතුණා කියලා දැනෙන්න සලස්වන්න.

ඉතින් මං ඔබට මෙහෙම කියන්නම්,

කලාව උපදින්නේ හදවතේ සියුම් තැන් නැවත නැවතත් පාරවමින් ජනනය වන වේදනාවකින්. 

මගේ හදවතේ සියුම් තැන් දැනුත් රිදෙනවා. ඉතින් මං ලියනවා.

රෝමාන්තිකයා —– (1)

මම ආරම්භයේදී ම මෙහෙම කියන්නම්. මේක ආදර කතාවක්…! 

ආදර කතාවක් වුණාම ඔබ හිතනවා ඇති මේක සුන්දර අවසානයක් සහිත ප්‍රබන්ධමය මනෝලෝකයක ඔබව හිර කරලා තියාගන්න රෝමාන්තික භාව ප්‍රකාශනයක් කියලා.
එහෙම නැතිනම් ඔබ හිතනවා ඇති, මේක දුක්බර අවසානයක් සහිත අවාසනාවන්ත පෙම්වත් යුවළකගේ ඛේදනීය මනෝභාවයන් ඉදිරිපත් කෙරෙන යුගයේ අනුවේදනීයම කතාවක් කියලා.

නැහැ…

මේක එහෙම කතාවක් නෙවෙයි…

මේක වෙනම කතාවක්…!

හැබැයි මේ කතාව ඇතුළෙත් අර කලින් කිව්වා වගේ හැම සිදුවීමක්ම අන්තර්ගත වෙන්න පුළුවන්. මොකද ආදරය කියන්නේ බොහෝම බොළද හැගීමක්. ආදරය කියන අකුරු හතර ඇතුළේම තියෙන්නේ බොළද බවක්. කව්රු මොනවා කිව්වත් මිනිස්සු ආසයි මේ බොළද බව අස්සේ කිමිදෙන්න.

ඒකනේ හැම එකාම මොන විදියේ ප්‍රකාශනයකින් ආදරය විග්‍රහ කළත් තමන්ගේ ප්‍රේම සහයකයා හෝ සහායිකාවට බබා, පැටියෝ, රත්තරනේ එහෙමත් නැතිනම් ගෑණියේ, මිනිහෝ කියලා හරි ආමන්ත්‍රණය කරන්නේ. 

අන්න ඒකයි මම කියන්නේ. අපි හැමෝම බොළද බව කියන ජලය ඇතුළේ කිමිදිලා ඉන්න මාළු පැටව්. අපිට ආස වුණත් අපිට බෑ මේ බොළද බව කියන ජලාශයෙන් එළියට බැහැලා ආදරේ කියන දේ දකින්න. මොකද මාළුවන්ට වතුරෙන් තොර පැවැත්මක් නැති නිසා..

ඉතින්…

මේක වෙනස් කතාවක්,

සාපේක්ෂව වෙනස් කතාවක්…
මොකද,

මේක මගේම කතාව.

* * *

අපි දෙන්නාගේ මුල්ම හමුවීමේ කිසිම විශේෂත්වයක් තිබුණේ නෑ.

එදා වැසි දවසක්.

බස් හෝල්ට් එකේ, ඒ කිව්වේ පාර අයිනේ තියෙන අති විශාල මාරගහ යට එයා හිටියේ කුඩයකුත් ඉහළගෙන. කුඩේ රතු පාටයි. ඒකේ මල් මල් වගේ මොනවද විකාර වගයකුත් ඇදලා නම් තිබුණා. මාර ගහ යට හෝල්ට් එකටම හිටියේ එයායි මම යි විතරමයි. 

මම සාම්ප්‍රදායික නවකතාවක වගේ මෙතැනදී ඇයගේ පෙනුම හෝ ඇය ගැන මට සිතුණ සිතුවිලි පුනර්රූපණයක් කිරීමට යන්නට නොසිතන්නේ, ඇත්තෙන්ම ඒ මොහොතේ ඇය පිළිබද විශේෂත්වයක් මට නොදැණුන නිසාමයි.

ඇය බසයක් එනකම් එතැන ඉන්න සාමාන්‍ය කෙල්ලෙක්.

මමත් බසයක් එනකම් එතැන හිටගෙන ඉන්න කොල්ලෙක්.

වැහි පොද ටිකෙන් ටික වැඩි වෙද්දී මමත් බෑග් එකේ තිබුණ කළු කුඩයක් එළියට අරගෙන ඉහළ ගත්තා.

ඒත් එක්කම ආපු පරණ ලදරම් සීටීබී බස් එකට අපි දෙන්නා ගොඩවෙන්න හැදුවේ එකටමයි. මම එයාට මුලින්ම බස් එකට නගින්න ඉඩ හැරියේ නියම මහත්මාගුණ සහිත කෙනෙක් කියලා කෙල්ලට අගවන්න.

බොහෝ විට පිරිමියා කියන පුද්ගලයාගේ චෛතසිකය ක්‍රියා කරන්නේ එකිනෙකට වෙනස් සංකීර්ණ සිද්ධි දාමයක් විදියට. බොහෝ විට පිරිමියෙක් තුළ ක්‍රියා කරන්නේ එක සිතුවිල්ලක් නොවේ. එකිනෙකට වෙනස් අසංබන්ධිත සංකීර්ණ සිතුවිලි සමූහයක්. 

කාන්තාවක් විශයානුබද්ධව සළකා බැලුවාම මේ එකිනෙකට අසම්බන්ධිත සිතුවිලි අතර මූලිකත්වයක් එම සිතුවිල්ලට නිතැනින්ම ලැබෙනවා. එය විරුද්ධ ලිංගික ආකර්ශණයක් නිසා ඇතිවන ජෛව රසායනික ක්‍රියාන්විතයක් හෝ මොන මගුලක් හෝ වේවා එය එසේ සිදුවන්නක්.
බොහෝ විට කාන්තාවක් ඉදිරියේ තමන්ගේ සුචරිතය හෝ තමන්ගේ හැකියාවන්, ස්වකීය වත්කම් හෝ වෙනත් ඕනෑම ස්වයං අධිපතිභාවයක් ලැබෙන දෙයක් පෙන්වන්නට පිරිමි අතිශයින් ප්‍රිය කරනවා. එවන් විටක කාන්තාවකගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව උක්ත ක්‍රියාවලියේ ස්වරූපයන් වෙනස් විය හැකියි. 

මේ මොහොතේදීත් මගේ චෛතසිකය ක්‍රියාත්මක වුණේ උක්ත සදහන් කරන ලද මනෝභාවයෙන් යුතුවයි. මට ඕනි වුණා ඇයට මම නියම මහත්මාගුණ සහිත කොල්ලෙක් බව පෙන්වන්න…!

ඒක ඉතින් ඇයට පමණක් විශේෂ වූවක් නෙවෙයි. ඔතන වෙන ඕනිම කෙල්ලෙක් හිටියත් මම කරන්නේ ඒ දේ මයි.
ඇය හිදගත්තේ මං අසුන්ගත් ආසනයට ආසන දෙකක් ඉදිරිපසින් වූ ආසනයක. 

කොන්දොස්තර ළගට ආවාම ඇය මුදල් දිගු කරන අයුරුත් කොන්දොස්තර ටිකට් ලියන අයුරුත් බලාගෙන හිටපු මම ඉන් පසුව මගේම මනෝ ලෝකයට පිළිපනින්න තීරණය කළා. 

“ කොහේට ද?“ ඒ කොන්දොස්තර

‘ තවම නොදන්න ගමනාන්තයකට‘ යැයි මගේ හිත කීවත් මගේ මුවින් පිටවුණේ වෙනත් යමක්.

“ නුවරට“ 

විකාරෙට ලියවෙන විකාර

බොහෝ විට මානුශීය චින්තනයන් අවදි වන්නේ මහ රෑට ය. දහසක් ඔළුවේ බර පිරී ඇති විට ය. එහෙම වෙලාවට කොහේ හෝ ඈතක තියෙන “දෙයක්“ දෙස හිස් බැල්මෙන් බලන්න මම පුරුදු වී ඇත්තෙමි. එවිට මාගේ චෛතසිකය පුරාවටම පිරී තිබෙනා දහසක් පීඩාවන් මොහොතකට අවරගිරෙන් බැස යයි. නමුත් මා දෑස් ඉවතට ගත් විට දියෙහි ලූ රබර් බෝලයක් නැවත දිය මතුපිටට ඉලිප්පී එන්නේ යම් සේ ද මාගේ හිස තුළ ඇති අධික වගකීම්, පීඩාවන්, කාර්යභාරයන් මෙන්ම අධ්‍යන කටයුතු ද මාගේ හිස අත්පක් කරගනු වස් ආක්‍රමණය කරන්නෝ ය. ඉන් උන් ජය ගන්නෝ ය. එබැවින් ඈත හිස් අවකාශයක් දෙස මධ්‍යම රාත්‍රියේ බලා ආ ඇසිල්ලෙහි මම මෙය ලියා තබමි.

මිනිසෙකු වූ විට ඌට යම්තාක් හෝ සැනසීමක් තිබිය යුතුම ය. එහෙම දේවල් ජීවිතයට ලැබෙන්නේ පෙර කළ පින් අනුව හෝ දෛවය අනුව හෝ බඹා කොටා ඇති විදියට යැයි යමෙකු කියන්නේ නම් මම එයට අභියෝග කරමි. අතැම් විට ඔය කියන දෛවයානුරූපී දේවල්ම සැනසීම නැති කරනා දෙයක් විය හැකි බව මම අත්දැකීමෙන් දත් හෙයිනි.

කොටින්ම මා මේ ලියන ඇසිල්ලේ ද මට කරන්නට දහසකුත් රාජකාරී ඔළුව වට කරකැවෙන්නට ආසන්න ය. ඒ නිසා මා මෙය ලියන්නේ ද ලහි ලහියේ ය.

පෙර කී සැනසීම මිනිසෙකු සතු විණි නම් ඔහුගේ පරිකල්පනයන් නිදහසේ මෙහෙයවිය හැකිය. මා මෙලෙස කියන්නේ එවන් අතීතයක් මට ද තිබුණ බැවිනි. සැනසීම වනාහී චිත්තාභ්‍යන්තරයෙන් නැගෙන ප්‍රමාණික සන්තෘෂ්ඨියකි. එහිද සීමාවන් ඇත. නමුත් සැනසීම වනසන වගකීම නම් සීමා විරහිත වේදනාවක්ම ය.

මේ ලිපියේ අරමුණ කුමක්දැයි නොසොයන්න. මේ හිතේ ඇතිවූ ඇසිල්ලක නිමේෂයේ මනස වසාලන්නට එන මාර සේනාවන්ගෙන් මිදී තිබුණා වූ තත්පරයක අනීවාරතේ ලියවෙන්නක්ය. මෙය පුස්සක් විය හැකිය. මන්ද මම මෙය නැවත කිසිම මොහොතක නැවත කියවීමක් නොකරන හෙයිනි.

මිනිසා යනු වගකීම් නැමැති රැහැනින් බැද දමා ඇති බැටළුවෙකි. ඌ තණ උලා කමින් නිදහසේ යා හැකි යැයි සිතා සිටින මුත් එක්තරා අවස්ථාවක කෙළවරකට පැමිණ තමන්ගේ සීමාව වටහා ගනියි. ඇතැම් බැටළුවෝ කවාකාර ප්‍රෙද්ශයක් තුළ තණ උනා කමින් යන්නෝ වෙන අතර උන් සිරවී ඇති බව උන්ම නොදනී.

ඇතැම්විට මේ සියළුම වගකීම් මා හට අවශ්‍යම වගකීම් දැයි මම සිතමි. එවිට මම දෙයක් වටහා ගනිමි.

මේ රැහැන අල්ලා ගනිමින් මගේ සීමාව තීරණය කරනා දහසකුත් දෙනා සිටින බවය.

මම ඉගෙන ගන්නේ මට ඕනි නිසා නොවේ ය. සමාජයට ඕනි නිසා ය. සමාජය සෑදූ නිර්ණායකයන් මත පදනම්ව මගේ ජීවන ගමන පෝෂණය කිරීමට ය. මාගේ පවුල් සංස්ථාව විසින් හුදෙක් ඒ චින්තනය මා තුළ රෝපණය කර ඇත. ඔවුන්ගේ අපේක්ෂාව මා ය. ඉතින් මා ඔවුන්ගේ රැහැනේ පැටලෙමි.

මගේ වටා සිටිනා දහසක් දෙනෙකු මගෙන් අපේක්ෂා කරනා දහසකුත් දේවල් ඇත. උන් සෑම දෙනෙකු අතම මාගේ ගෙලට ඈදූ රැහැනක් ඇත. උන් ඒවා විටක කෙටි කරමින්ද විටෙක දිග හරිමින් ද මා තණ උලා කෑමට යවති.

මම මොහොතකට සිතමි.

මේ රැහැන මාගේ ගෙලෙහි නැතිනම්…

පොඩි කාලේ නංගීගේ පාසලේ දී ඇයට ලබා දී තිබූ පත්‍රිකාවක සදහන් වූවක් මට මෙහිදී සිහිවේ.

“ මට මම ම වෙන්න ඉඩ දෙන්න…?“

ඔව්… මට ඕනි මම වෙන්න…

ඒත්… මම යනු කව් ද?

සමාජය විසින් නීර්ණය කළ ‘‘මම‘‘ කෙනෙක් ඇත. ඇත්තටම මා විය යුත්තේ ඒ මම ම ද? නැතහොත් වෙනත් මම කෙනෙක් ද? එය සිතන්නටද මගේ සිතේ නිදහසක් නැතිය. කොටින්ම මට මාවම සොයා යා නොහැක. මන්ද රැහැන මා නතර කරන හෙයිනි. රැහැනේ සීමාවෙන් එහා ලොවක් ගැන මට සිතිය නොහැකි ය.

නමුත් මම දිනක දෙයක් කරමි..

රැහැන කඩාගමි.

එවිට මට අහිමිවිය හැකි දෑ බොහො යැයි මම දනිමි.

නමුත් ඒ අහිමි වන්නා වූ දහසකුත් පුද්ගලයින්, දහසකුත් භෞතික වස්තූන්ටත් වඩා මට වටිනාතම සැපතක් හිමි වනු ඇත.

ඒ මාව ම සොයා යෑමයි.

ඔබට ඔබ හමු වී නම්,
 ඔබට මා අවැසි නැත…
 මට මම ම හමු වී නම්…
 මට ද ඔබ අවැසි නැත..“

ඇයව තෝරමි… හැගීම් මරමි…

මම මලානික වෙමි.

මා හට ජීවිතයක් පවතී ද? ඒ ජීවිතය මම පතනා ජීවිතයම විය යුතුම ද?

බොහෝ විට ජීවිතය මෙයාකාර විය යුතු යැයි මගේ සිත කියයි. ඉතින් ඉපදුණ දා පටන්ම මා හට සිහින දකින්නට හැකියාව ලැබුණු මොහොතේ සිටම මා මාගේ ජීවිතය කෙසේ සකස් විය යුතු දැයි සිහින දැක ඇත්තෙමි. සිතන්නට පුරුදු වූ දා පටන් මගේ ජීවිතය කෙලෙසක ගොනු විය යුතු යැයි පිඹුරුපත් සැකසූවෙමි.

ඉක්බිති මා තරුණයෙකු වීය.

යොවුන් වියට එළඹෙත්ම මට මහා ලොකු ජීවන සැලසුම් තිබුණේ නැත. තිබුණේ අතිශය අල්ප වූ ආශාවන් සමුදායකි. ඒ අතර මා සිතේ ගැඹුරින්ම තැන්පත් වූ ආශාවක් ද වීය. ඒ ආශාව බීජයක්ව රෝපණය වී කෙමෙන් කෙමන් අතුලියලමින් රූස්ස ගසක් බවට පත් වීය.

මම කොල්ලෙක් වෙමි.

කොල්ලෙක් වන මා හට මාගේ ප්‍රේමය කෙලෙසක විය යුතුදැයි අපේක්ෂාවන්ගෙන් සැදුම් ලත් අපේක්ෂාවේ වෘක්ෂයක් ඇත. මා පෙම් කරනා යුවතිය මෙලෙස විය යුතු යැයි මගේ සිත තුළ සම්මතයන් ද ඇත.

ඇය පිරිපුන් විය යුතු ය. සුළගට සැලෙන දිගු කෙස් කළඹක හිමිකාරියක් විය යුතු ය. දිගු නුවනකට උරුමකම් කිවිය යුතු ය. පුළුලුකුළක් තිබිය යුත්තා සේම පිරිපුන් පයෝධරයන් ද තිබිය යුතුම ය. එමෙන්ම මා හට ඔසවා ගත හැකි තරම් කුඩා විය යුතුය. ඇය පැහැපත් සිත්ගන්නා සුළු යුවතියක් විය යුතුමය. මියුරු කටහඩක් ද ඒ හඩට අනුකූල වූ දගකාර කතාබහක්ද ලගන්නා සුළු ප්‍රේමණීය ස්වරයක්ද තිබිය යුතුය.

ඒ ඇගේ පෙනුමය.

මේ ඇගේ ගති ලක්ෂණය.

ඇය දගකාරියක් විය යුතු ය. සියළුදෙනාට අහිංසකාවියක් නොවිය යුතුය.  නමුත් ඇය වාචාලියක් නොවී ප්‍රේමණීය සිතැත්තියක් විය යුතු ය. තැනට ඔබින නුවණක් සහ ප්‍රේමණීය මදහසක් තිබිය යුතු ය. මිතුරන්ට ප්‍රිය විය යුතුය. සමාජශීලී ක්‍රියාකාරී කෙල්ලක විය යුතු ය. නවීන විලාසිතාවන්ගේ ප්‍රතිමූර්තියක් විය යුතුමය.

එවැන්නියක් හමුවුවහොත් ඈ සමග කරනා දේවල් දහසක් මගේ සිතේ ඇත.

මම ඇය සමග දෑත් පටලා ගව් ගණං ඇවිදින්නෙමි. සද නැගී තරු දිලෙන රැය එළැඹෙන තුරු ඇය හා පෙම්බස් දොඩමි. කිසිවෙකුත් නැති නිසසල ගංඉවුරක ඇයව තුරුළු කොට ගනිමි. නිල්වන් අහස් වියනක් යට සිට ඇය සිපගනිමි. ඇගේ දෙතොල් මත හාදු අතුරමි. ලා තණ බිස්සක දිගෑදී ඇගේ සවනට කොදුරමි. ඇය සමග ජීවිත සැලසුම් තනමි. ඇයට තුරුළුව මාගේ සියළු පීඩාවන් පවසා සැනසෙමි. ඇගේ දෑස් අග උනනා කදුලැලි දෑතින් පිස දමමි. ඉඩක් වේ නම් ඇගෙන් සියුම් පහසක් ලබමි. ඇයට හැගෙනා තුරු ඇයව ස්පර්ශ කරන්නෙමි.

මා ඇය සමග අනීවාරතේ ඇවිද යන්නට හෝ කොහේ හෝ නිසසල තැනක සිට ඇයට පෙම්බස් දොඩන්නට ආශා කරන්නෙමි. මේ මගේ පෙම්වතිය යැයි ලොවට පෙන්වන්නට ආශා කරමි. ඇය මගේමයි කියා අන් අයට දැන්වීමෙන් මම අසීමිත ප්‍රීතියක් විදිමි. ඇයට අඩවන්නට සිතක් නම් නැත. නමුත් ඇයට තරවටු කරන්නට ආශා කරමි. ඇය මා කියනා දෙය අසනා කීකරු යුවතියක්ව සිටී නම් මම ඇයට අපමණව පෙම් කරමි. ඇය මගේ තුරුළේම තබා ගන්නෙමි.

මේ සිහින තැන්පත් වන්නේ මගේ සිත තුළම ය. මගේ සිත් අභ්‍යන්තරේ මේවා තව තවත් පෝෂණය වෙයි. දෛනිකව එයට අළුත් පෙම් ජවනිකාවක් එක් වෙයි.

මොහොතකට  සිතන්න. මා බොළද පෙම්වතෙකු ද?

මම මා ගැනම සිතමි. නැත… මේ අහිංසක කොල්ලෙකුගේ සිහින ප්‍රාර්ථනාවන් පමණකි.

කෙල්ලෙකුගෙන් කොල්ලෙකු මවක් හෝ සහෝදරියක් හෝ මිතුරියක් බලාපොරොත්තු නොවේ. මා හට අවැසි පෙම්වතියක් ය. පෙම්වතිව වනාහි මිතුරිය සීමාවෙන් ඔබ්බට ගිය අයෙක් විය යුතු ය. එහිදී ලිංගිකත්වය මුසු වූ රෝමාන්තික අපේක්ෂාවන් බහුලය. ඒවා සංතෘප්ත නොවන්නේ නම් ඒ පෙම්වතිය තුළින් සැනසීමක් ලද හැකි දැයි මගේ සිත නැවත නැවතත් මුරගානු ඇසේ.

මාගේ ජීවිතයට එක් සදක් පායන ලද්දේ ය.

මා පෙර කීවා සේම මා ආලය තුළ සිහින මාළිගා දහස් ගණනක් තනා ඇත්තෙක්මි. එබැවින් උක්ත කී පෙනුම සහ ගතිගුණයන් සංතෘප්ත කරනා යුවතියක් මගේ ජීවිතය අරක් ගත්තේ මා ඇය කෙරෙහි පිස්සු වට්ටවමින්ය. දැන් මා හට ඇගෙන් තොර ලෝකයක් නොමැත. ඇයද මා කෙරෙහි ඇලී සිටින්නී යැයි මට සිතේ. ඇය එලෙසින්ම මට පවසන්නීය. ඉතින් මම සිතමි. ඇයට මා නැතුවම බැරිය. ඇය මට අසීමිතව පෙම් කරන්නීය.

ඒත් මිනිසා සියයට සියයක් තෘප්ත කළ නොහැකිය.

ප්‍රේමයක් පූර්ණ වශයෙන් සදාකාලික වීමට නම් ඔවුනොවුන් අතර අවබෝධය පුළුල් විය යුතුය. ගැහැණිය පිරිමියාට ද පිරිමියා ගැහැණියගේ ද ආශාවන් තෘප්ත කළ යූතු මය.
 මෙකී ආශාවන් මා ලිංගිකත්වය සහා රෝමාන්තික චිත්ත වේග අනුව බෙදා සළකන්නම්…
එසේ නම් ඇය මා සිතේ උක්ත කී කරුණු ද්විත්වයම පිළිබදව ධනවාදී ආකාල්පයක් ඇති කළ යුතුමය.

මම උත්සාහ කරමි. මා ආසා කරනා රෝමාන්තික පරිසරය ඇයට ලබා දීමට මම හැකිතරම් උත්සාහ කරමි. මම ආශා කරන්නේ ඇයව ප්‍රේමයෙන් නහවා සදාකාලිකවම සතුටේ තැබීමට ය. ඒ සදහා මා හට කැප කළ හැකි ඕනෑම යමක් වේ ද මම එය කැප කරන්නට සූදානම් වෙමි. මන්දයත් ඇය යනු මගේ ජීවිතය වන බැවිනි.

නමුත් යුවතියක් ලෙස ඇයටත් යුතුකමක් තිබිය යුතු ය. ඇය මන්දගාමී හෝ හැගීම් විරහිත ජීවිතයක් ගත කරන්නේ නම් පිරිමියෙකු ලෙස මා කෙලෙස ඇයව සනසම් ද? මා කෙලෙස තෘප්තිමත් ජීවිතයක් ගෙවම් ද?

බොහෝ විට පිරිමියෙකු ගැහැණු ඇසුරක් තුළ පතනා දහස් සංඛ්‍යාත ආශාවන්ගෙන් තෘප්ත වන්නේ කිහිපයක්ම පමණක් විය හැකිය. එය පිරිමියෙකුට නම් මහා විසල් ධනස්කන්ධයක් වැනිය. යුවතියකටත් එය එසේම විය යුතුමය.

නමුත් මා අසරණව සිටිමි.

හැගීම් සිරකරගනිමින් පීඩිතව වේදනා විදින්නෙමි.

ඒ වේදනාවන් විටක පුපුරා යන කළ ඇයව වේදනාවේ ගිල්ලවීමෙන් මම මොහොතකට වියරු වෙමි.

නැවතත් ඈ කෙරේ මා සිතේ තිබෙනා ප්‍රේමයෙන් මම පසුතැවෙමි. ඵීඩාවට පත් වෙමි.

අහෝ ජීවිතය…! ඔබ කවදාවත් සර්වසම්පූර්ණ නොවන්නේ මන්ද?

ඉතින් තීරණයක් ගන්නෙමි.

මා හට වටින්නේ හැගීම් ද? ඇයව ද?

මම ඇයව තෝරා ගන්නෙමි.

හැගීම් මිහිදන් කරමි.

Posted in නාඳුනන්නෙකුගේ දිනපොත, වාරාගේ හුස්ම

නාඳුනන්නෙකුගේ දිනපොත #15

දිනපොතේ පෙර පිටුවට ⇒ නොවැම්බර් 18 – ඉරිදා

දෙසැම්බර් 10 – සදුදා

            මාරි කොරෙලි මෙහෙම කියලා තියෙනවා.

            “ ආදරය නිසාම ජීවත් වෙන්නට වටිනේද? ඒ නිසාම මිය යන්නට වටිනේද? ජීවත්වන කෙටිකාලය තුළ එහෙ මෙහෙ දුවන ඡායාවන් මැද අපට ග්‍රහනය කරගත හැකි සිත් පිනවන දෙය ආදරයම ද? අඳුරේ පොර බදන අපේ ජීවිත තුළ අප කරන කියන දෑ අතර පවතින එකම පහන් එළිය එයම ද? “

            මේ පණ ගැහෙන මොහොතක් පාසා අපි උත්සාහා කරන්නේ අපිට ඕනි දේවල් අපේ කරගන්න. මිනිස්සු එයට කියන්නේ ආශාව කියලා. ආශාව නැතිතැන ජීවිතයක් තියේවි ද?

            නිදහස් චින්තක බොහීමියානු ආකල්පයක් ඇත්තෙකු තුළද ආශාවක් රෝපණය විය නොහැකි ද? මා විසින් මටම බොහීමියානුවෙකු යැයි ආමන්ත්‍රණය කරන කල්හී මා ඇත්තටම බොහීමියානුවෙක්ම විය හැකි ද? මිනිසා මෙසේ යැයි සම්මත කර හුවා දැක්විය හැකි ද? අවම වශයෙන් මට මාව අර්ථ දැක්විය හැකි ද?

            නැත…

            මම යන වාච්‍යාර්ථයම අබිරහසකි.

            ඇය පිළිබඳ ආලය මා සිත ගිලන් කළ බව මම පිළිගනිමි. මා ඇයව පුදනු ලැබුවේ අල්තාරය මත තබන ලද්දා වූ පහනක් මෙන්ය. පූජාසනය මත හොවාලූ පුෂ්පයක් ලෙස ය. හෘද ගර්භය තුළ තැන්පත් කළා වූ මාණික්‍යයක් ලෙස ය.

            ඉක්බිති මෙකී විප්‍රයෝගය හා මම මාගේ පූර්වතර හැඟීම් සසඳමි.

            හදවතක් යනු අකමැත්තක් පිළිගැනීමට අතිශය මැලිවන්නා වූ සජීවි වස්තුවක් ය. එබැවින් හදවතට අවැසි දෙයම කළ යුතු ය. නැතහොත් හදවත ගිලන් වන්නේ ය. අජීවී බවට පරිවර්ථනයව මිලාන වන්නේ ය.

            ඈ හා සම්බන්ධව පෙර කී මාගේ පූර්වතර ප්‍රේම හැඟීම අනුව ඇයගේ විප්‍රයෝගය මට මහා වේදනාවක් ගෙන දී ඇය වෙනුවෙන් මා ජීවිතය කැප කළ යුතු යැයි හැඟවිය යුතු ය. ඒත් හා සම්බන්ධිත වත්මන් තර්කන බුද්ධියක් මා සියල්ල අත්හැරිය යුතු බව හඟවයි. මා සියල්ල අත්හරින්නේ නම් ඈ සම්බන්ධව මා සතුව පෙර තිබුණේ සැබෑවටම ආලයක් ද? එසේනම් ඇයව පහසුවෙන් මා අත්හරින්නේ කෙසේ ද?

            පිරිමි හිතක් යනු සංකීර්ණ පැටළුම් සමුදායකි. එය හරියට කෙලෙවරක් නොපෙනෙනා වංකගිරියක් වැනි ය. අත්‍යාභ්‍යන්තරයට යන්නට යන්නට තව තවත් අතරමං වනවා විනා නිදහසේ ආලෝක පුංජයක් හෝ දැකගත නොහැක්කේ ය. ඉතින් කළ යුත්තේ වංකගිරියටම හුරු වීමක් මිස ඉන් එහා සැපතක් ගැන සිතීම නොවේ.

            මා පෙර කීවා සේම මාගේ සිත් වංකගිරිය තුළ මම ගමන් ගත් මඟ දැන් ද්විඛණ්ඩනයකට ලක්ව ඇත. මා මෙතෙක් ගමන් ගත් මඟ හෝ අළුත් මඟක් තෝරාගත යුතු ය. නමුත් මම දනිමි. කුමන මඟ තෝරාගත්තද මා තවමත් මේ පිරිමියා නම් වූ වංකගිරියේම සිරවී ඇති බව.

            ආලය පිළිබඳව අපමණ සම්මතයන් ඇත්තෝ ය.

            මිනිස්සු ආලයට බිය වෙති.

            මන්දයත් ආලයත් සමඟ එන්නා වූ විප්‍රයෝගය යනු අධික මිලක් ගෙවිය යුත්තා වූ ගණුදෙනුවක් වන හෙයිනි. ආලය කරන්නෝ කවදා හෝ මේ ගණුදෙනුවේ පැටලෙන්නෝ ය.

            මම විප්‍රයෝගය ජය ගන්නට සිතුවෙමි.

            “ සහෝදරයා… පිරිමි පැරදෙන්නේ නෑ… පිරිමි පාඩම් ඉගෙනගන්නවා… “

            නතාලියා පවසන්නී සමුධුර ගිලගන්නා රක්ත වර්ණ හිරු දෙස බලමිනි.

            “ අත්දැකීම් හරියට ඉර වගේ… කාලයක් අහසේ රැඳිලා අතුරුදන් වෙලා යනවා… ආයෙත් නියමිත වෙලාවට නියමිත තැන මතුවෙනවා…“

            මම බැස යන හිරු දෙස බලමි. ඒ අතරින් හෙට උදා වෙන නැවුම් හිරු සොයමි.

            “ අපි දැනගන්න ඕනි ඉර තියෙන වෙලාවට ඉරෙන් වැඩ ගන්න… ඉර නැති වෙලාවට ඉරෙන් කරන්න පුළුවන් වැඩ ගැන සැලසුම් හදන්න…“

            මම හිඳගෙනම සිටිමි. ඇය රේල් පාර දිගේ කෙළවරක් නොපෙනෙන අනන්තයට ඇවිද යන්නී නැවත හැරී නොබැලුවා ය. මම නැවතත් ක්ෂිතිජය දෙස බලමි.

            හිරු බැස යද්දී පරිසරය රක්තවර්ණයෙන් සරසන්නේ ය. හිරු අහසේ මුදුන්වෙත්දී මෙතරම් සුන්දරත්වයක් නැත්තේ ඇයි? මේ හිරුගේ නික්මයාම නිසා අහසේ කම්පාව විය යුතු ය. මේ හිරුගේ විප්‍රයෝගය නිසා වළාකුළේ ශෝකය විය හැක.

            නැතහොත්,

            මේ හෙට උදාවන අළුත් හිරු වෙනුවෙන් අහසේ අපේක්ෂාව විය හැකිය. මේ හෙට උදාවන අළුත් හිරු වෙනුවෙන් වළාකුළේ උත්තමාචාරය විය හැකි ය.

            ඇත්ත…

            “ සහෝදරයා, දිනපොත් වල පිටු ඉවර වුණාට ජීවිතයේ රචනාව ඉවර වෙන්නේ නෑ…“

@වාරා

Posted in නාඳුනන්නෙකුගේ දිනපොත, වාරාගේ හුස්ම

නාඳුනන්නෙකුගේ දිනපොත #14

දිනපොතේ පෙර පිටුවට ⇒ ඔක්තෝබර් 30 -අඟහරුවාදා

නොවැම්බර් 18 – ඉරිදා

            සම්මතයන් හිත ඇතුළේ හැදුණම අපි වහල්ලු. සම්මතේ තමයි අපේ පාලකයා වෙන්නේ. ඇය නමින් වූ මගේ ආලයත් එක්තරා සම්මතයක්මයි. මේ සම්මතය බිඳලන්නට පෙරළියක් කළ යුතුම නොවේද? අරගලයක් කළ යුතු නොවේ ද?

            මම සිරවී සිටිමි.

            හිත් ඇතුළේ පුංචි හිරකූඩුවක් හදාගෙන ඒ කූඩු ඇතුළටම වෙලා අපි වේදනා විඳිනවා. සමහරවෙලාවට ඒ කූඩුවේ යතුර ඔබ ළඟම තිබුණා විය හැකියි. නමුත් ඔබට කිසිම මොහොතක අවශය වෙන්නේ නැහැ ඒ කූඩුව හැරදාලා යන්න. මන්ද ඒ කූඩුව තියෙන්නේ ඔබේ හිත ඇතුළේම හින්දා.

            ඇය දන්නවා මා ඇය ලුහුබඳිනා බව. එබැවින් ඇය වෙනදාටත් වඩා මා වෙත හෙළනුයේ ප්‍රකෝපකාරී බැලුම්.

            යුවතියක මෘදු හද ගැස්මක් සවනතකට වැටිය හැකිනම් පිරිමියෙකු කෙතරම් ආහ්ලාදයක් ලබනු ඇතිද..? නමුත් මෘදු හද ගැස්මකට සවන් දෙනු වෙනුවට එම යුවතියකගේ කෘර බැල්මකට යටත්වන්නට සිදුවන්නේ නම් පිරිමියා කෙතරම් පීඩාවකට යටත් වන්නේ ද?

            අහෝ කෙල්ලනි….! තොපට මේවා නොතේරේ…!!!

            මිනිස් හදවතක් කිසි දිනක ප්‍රතික්ෂේපය පිළි නොගනී. එහි පතුළටම කිමිද බැලුවත් කිසිඳු දිනක ප්‍රතික්ෂේපය සාධරණීකරණය කරනවා විනා මිනිසා ප්‍රතික්ෂේපයට අවනත නොවන්නේ ය. ආලය නම් වූ විශය පථය තුළ ප්‍රතික්ෂේපය යනු බරපතළ කාරණාවකි. බොහෝ විට ප්‍රතික්ෂේපය, ප්‍රතික්ෂේප කිරීම ආලය තුළ සිදුවන්නකි. එබැවින් බරපතළ චිත්තපීඩා ගොනුවීම හේතුකොටගෙන ආලය කෙලවර වීම් සිදුවේ.

            ආලය තුළ ජයග්‍රාහකයෝ වෙත් ද?

            නැත… අප හැමෝම ආලය හේතුකොටගෙන පරාජයට ලක්වූවෝ වන්නෙමු. තම සිතැති පුද්ගලයා තමා නතු කරගත් පමණින් ආලය ජයගත්තේ යැයි පවසන්නේ නම් ඔහු සිටින්නේ මුලාවක ය. මන්දවත් ආලය යනු අවිනිශ්චිත සූදුවක් වන හෙයිනි. ඔබ කවදාහෝ කුමන ආකාරයකින් හෝ ආලයෙන් පරාජය වෙනු ඇත.

            ජැක් රෝස් හෝ රෝමියෝ ජුලියට් කිසිදිනක ආලය දිනුවෝ නොවෙති. උන් මල ගියෝ ය. උන් පැරදුණෝ ය.

            “ ඒකිව අතෑරපන්…“

            මම දනිමි. ඔවුන් නිවැරදි බව. මම එය ඇසුවෙමි. මම එය දුටුවෙමි.

            “ ඒකිට කොල්ලෙක් සෙට් වෙලා…“

            ප්‍රතික්ෂේපය තුළ ඇති තවත් යමක්නම් අපේක්ෂාවකි. ඇය මා ප්‍රතික්ෂේප කළේ ඇගේ සිතෙහි වූ අපේක්ෂාවට මුල් තැන දීමට ය. මා ඈගේ ප්‍රතික්ෂේපය නොපිළිගත්තේ මාගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇති අපේක්ෂාවට නතු වී ය.

            ප්‍රතික්ෂේපය… අපේක්ෂාව… ජයග්‍රාහණය… පරාජය… ආලය….

            ආලය බලවත් ය. සිත ගිලන් කරන සුළු ය.

            “ කෙල්ලෙක් අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ…?“

            “ ජීවිතය…“

            මා නතාලියා සමඟ තර්ක නොකරමි.

            කළු රෝස මල සොයනා ජීවිතය කුමක් විය හැකි ද? ඒ ජීවිතය ඔහුට ලබා දිය හැක්කේ කෙසේ ද? එය මා තුළ නොතිබී ඔහු සන්තකයේ පැවතුණේ කෙසේ ද?

            තනි සිත් රාත්‍රියට බිය වෙති.

            රාත්‍රිය යනු හැඟීම් අවදි කරනා උත්තේජනයකි. විරහවේ ස්වර වැයෙනා ගීයකි. ඉතින් හදවත් ඇත්තෝ රාත්‍රිය තුළ සිරවෙති. කිදුරංගනාවන්ගේ ගීතයට වශීවන සේලරුවන් මෙන් තමන්ගේම චිත්ත වේදනා තුළ ගිලෙති.

            මිය ගියා වූ අප්‍රකාශිත ප්‍රේමයක් යනු කිසිඳා සුව නොවනා තුවාලයක් ය. එය හෙමි හෙමින් පෑරෙන්නේ ය. එක් තැනකින් ඇරඹී රුධිරයට කා වැදෙමින් සියුම් කටු කැබලිති සිරුර පුරා රැගෙන යන්නේ ය. හදවත මත්තේ මහා බරක් තබන්නේ ය. තුවාලය පෑරෙන්නේ මුළු ආධ්‍යාත්මයම ගිලන් කරමින්ය.

            සිතැඟි යනු හිත් අභ්‍යන්තරයේ තැන්පත් කර තබාගත යුතු නිධානයක් නොවන්නේ ය. සිතැඟි නොවලහා ප්‍රකාශ කළ යුතුම ය. නැතිනම් ආහාරයක් පාර්සලයේ ඔතා තිබුණාක් මෙනි. පිළුණු වී ගඳ ගසන්නේ ය. මා ඇයට ආලය ප්‍රකාශ කර තිබුණා නම් හද ගැස්ම අද මෙතරම් බර නොවෙන්නට තිබුණි.

            මම නොදනිමි.

            යමෙකු මාගේ ආදර කතාව ආඛ්‍යානයකට පෙරළුවේ නම් රචකයා මෙම ප්‍රේමය උපන්ගෙයි මලගිය බිළි‍ඳ‍ෙකු ලෙස නම් කරනු ඇත. එලෙස මියගියානම් මෙතරම් චිත්තපීඩාවක් දැනෙන්නේ මන්ද..?

            විපුළ සහෝදරයා දිනක් මෙසේ පැවසීය.

            “ සහෝදරයා මල උන් කතා කරනවා…. හිත් වලට…“

@වාරා 

දිනපොතේ ඊළඟ පිටුවට ⇒ දෙසැම්බර් 10 – සදුදා