Directed By : Asoka Handagama , Vimukthi Jayasundara , Prasanna Vithanage
Imdb Details : Her,Him,The other On IMDB
You tube : Her,Him,The Other
Her,Him,The other
මේ ලියනුයේ චිත්‍රපටි තුනක් පිළිබඳවය. නැත. චිත්‍රපට ත්‍රිත්වයක එකතුවකින් සෑදුණාවූ තනි චිත්‍රපටයක් පිළිබඳවය. ප්‍රේක්ෂකයා වෙත අමුතු අත්දැකීමක් එකතු කළා වූ “තුන් දෙනෙක් ” පිළිබඳවය. ඉකුත් 30 වෙනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී මෙම අමුතු මාදිලියේ චිත්‍රපටයේ දර්ශණ වාරයක් නැරඹීමේ වාසනාව මටද උදාවී තිබුණි. මේ සටහනේ ලියවෙනුයේ ප්‍රේක්ෂකයෙකු ලෙසින් මා පේරාදෙණිය කලාගාරයේදී අත්දැකියා වූ සිතුවිලි සමුදාය ය.
උක්ත චිත්‍රපටය Her, Him , the other යනුවෙන් කෙටි චිත්‍රපට තුනකින් සමන්විත වන්නේය. Her ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණයෙන්ද Him,
විමුක්ති ජයසුන්දර ගේ අධ්‍යක්ෂණයෙන්ද The other අශෝක හඳගමගේ අධ්‍යක්ෂණයෙන්ද නිර්මිතය. එකිනකට වෙනස් යැයි බැලූ බැල්මට සිතුණද එක් චිත්‍රපටයක් ලෙසින් මෙම ත්‍රිත්වය සැලකූ විට පශ්චාත් ලාංකේය යුධ සමයේ එක් ඛේදාන්තයක් නිරූපණය වන්නේ යැයි මගේ අදහසය. දෙමළ මිනිසාගේ කෝණයෙන් දකුණේ නිර්මිත කතාංගයක් ලෙසින් හුවා දැක්විය හැකි “තිදෙනෙක්“ චිත්‍රපටය තුළ උතුරේ සමාජය තුළ මෙම යුද්ධය බලපෑ ආකාරය මත පශ්චාත් යුධ සමයේදී එම සමාජයීය මිනිසුන් තුළ ඇතිව තිබුණා වූ මානසික තත්වයන් අපූර්ව ලෙස චිත්රණය කිරීමට නිර්මාණකරුවන් වෑයම් කර තිබුණි.
HER
LTTE කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළා වූ කේසා නම් පුද්ගලයෙකු යුද්ධයෙන් පසුව අශෝක හදගමගේ නිර්මාණයක් (මේ උදෙසා පාදක කොට ඇත්තේ ඉනි අවන් චිත්‍රපටය විය යුතුය.) අතර තුරදී ඔහු සමඟ සිදු කළා වූ කතාවක් ඇසුරින් මෙම කොටස නිර්මාණය වී තිබුණි. මිය ගිය සිංහල හමුදා භටයෙකුගේ පසුම්බියක් තුළ තිබී හමුවූ යසෝ නම් කතට පෙම් බඳින මෙම කැමරා ශිල්පියා ඇය සමඟ දුරකථනය ඔස්සේ සංවාදයටද යොමු වන්නේය. ඉක්බිති යුද්ධයෙන් පසුව ඔහු අශෝක හඳගම නම් අධ්යක්ෂවරයා සමඟ ඇය සොයා ගිය කල්පිත ගමන මෙකී කොටසේ අපූර්ව ලෙස නිර්මිතය.
මෙම කතාව මෙම කැමරා ශිල්පියා විසින් ප්‍රථමව පවසා ඇත්තේ ප්‍රසන්න විතානගේ සමඟ බව සංවාදයේදී දැනගන්නට ලැබුණි. කෙසේ වුවද සත්‍ය සිදුවීම පාදක කොටගෙන කල්පිතව ගොඬනැඟූ ඇතැම් සිද්ධීන්ද යොදාගෙන මෙම කතාංගය අපූර්ව ලෙස ප්‍රේක්ෂක සිත් ආමන්ත්රණයට සකසා තිබූ බව පැවසිය යුතුමය.
කේසා නම් මෙම කැමරා ශිල්පියා තුළ මා මිනිසෙකු දකිමි. හෙතෙම හැඟීම් දැනීම් සහිත මනුස්ස ප්‍රාණියෙකි. මොහු ත්‍රස්ථ සංවිධානය හා සම්බන්ධ වුවද හදවතින් ත්‍රස්ථවාදියෙකු නොවන පුද්ගලයෙකි. යසෝ නම් කාන්තාව නොදැක ඇයට පෙම් බඳින මෙම මිනිසා තුළ වැඩෙන්නේ කුමන ආකාරයේ ප්‍රේමයක්ද? ශෘංගාරිකව ඇය තමා නතු කර ගැනීමක්ද පෙම්වතා අහිමි වූ ඇය කෙරෙහි අනුකම්පාවෙන් ඇතිවූ ප්‍රේමයක්ද? යුද්ධය අවසන් වී 2010 වසර වන විටද ඔහු ඇය ස්වකීය අධ්‍යාත්මයෙහි තැන්පත් කරගෙන සිටින්නේ ය. ඇගේ කටහඬ පවා ඔහුගේ මනස තුළ රැව් පිළිරැව් දෙමින් රැඳී තිබෙන්නේය. ඉක්බිති ඇය හමුවූ කල්හී ඇය සියල්ල අමතක කොට වෙනත් විවාහයකට පත්ව සිටි අතර ඔහුව කටහඬින් හඳුනාගැනීමක් හෝ ඇය තුළ නොවිණි. ඒ අවස්ථාවේදී ඔහුගේ මුහුණ තුළ ඇතිවූ එම සංවේගය මනාව නිරූපණය කරන්නට නිර්මාණකරු සමත්ව තිබූ ආකාරය අපූරුය.
උක්ත කතාංගය තුළ අඩංගු එක් දෙබසක් මගේ සිත පැහැර ගත්තේය.
“ අපිට අපේ කතාව කියන්න විදියක් නෑ සර්…“
යුද්ධයට මුහුණ දුන්නේ උතුරය. උතුරේ මිනිසා තුළ ඒ කුරිරු රෞද්‍ර මතකය කෙසේ සැඟවී ඇත්ද? කිසි දිනක ප්‍රසූත කළ නොහැකි ඒ වේදනාවේ දරු ගැබ ඔවූහු කෙසේ දරා සිටින්නේද? මෙම කැමරා ශිල්පියාද ස්වකීය ආධ්‍යාත්මය තුළ තැන්පත් කරගෙන තිබෙණුයේ එකී ඛේදවාචකයම නොවේද? දකුණේ යශෝ නම් යුවතියට වසර දෙකක් ගත වූ තැන එම කුරිරු මතකය අමතක කර නැවත ස්වකීය දිවි ගමන ආරම්භ කළ හැකි වුවද උතුරේ කේසා ට එලෙස එම අතීතය අමතක කළ හැකිද? එය එතරම් පහසු කාර්යයක්ද? අප සිතා බැලිය යුතුය.
HIM
මෙම කොටස විමුක්ති ජයසුන්දරගේ නිර්මාණයකි. උතුරේ මායිම් ගම්මානයක රැකියාවෙහි නියතු සිංහල පාසල් ගුරුවරයෙකු මුහුණ දුන් අත්දැකීමක් අනුසාරයෙන් මෙම කතාංගය ගොනුවේ. පුනරුප්පත්තිය සත්‍යයක් විය හැකිද? නැතහොත් මිත්යාවක්දැයි විද්‍යාත්මකව තවමත් සාක්ෂාත් කළ නොහැකි වුවද ඒ ඔස්සේ ගොඬනැඟුණු කල්පිතයක් අනුසාරයෙන් යුද්ධය හා යුද්ධ ව්‍යාපාරය දැඩි ලෙස විවේචනය කරන්නාවූ කොටසක් ලෙස මෙය හුවාදැක්විය හැකිය.
යුධ සමයේ මෙන්ම පශ්චාත් යුධ සමයේද මාධ්‍ය ආයතනයන් යුද්ධය මුදල් උපයන ව්‍යාපාරයක් කොටගත් ආකාරය අප අත්දැක ඇත්තෙමු. මෙහිදී වගකීම් විරහිත ලෙස සාමාන්‍ය ජනයාගේ අනුවේදනීය අත්දැකීමක් ස්වකීය මඩිය තරකොට ගැනුම උදෙසා මාධ්‍යවේදීන් භාවිතා කරන ආකාරය ගැඹුරු ලෙස විවේචනයට නතු කොට ඇත.
සිංහල මායිම් ගම්මානයක සිංහල උගන්වන මෙම ගුරුවර චරිතය තුළින් ඉස්මතු කරලීමට උත්සහ දරනා කරුණක් මා දුටුවෙමි. ඉතිහාසය යනු අපේම අවශ්‍යතා අනුව අප විසින්ම නිර්මාණය කරගන්නා ලද අධියථාර්ථවාදී සාහිත්‍යයකි. තම ජාතිය උතුම්ය අන් අය සුළු ජාතීන්ය යන සංකල්පය මිනිස් මනස කැළතීම අරඹනුයේ පාසල තුළදීමය. එකී ඉගෙනුම් යාන්ත්‍රණය තුළ අන්තර්ගතව තිබෙන්නාවූ ඇතැම් කරුණු ඝෘජුවම මනුෂ්‍යය මනස නොව ඇතුළත සැඟව ඇති ස්වකීය ජාත්‍යාලය නම් වූ කොටස ආමන්ත්‍රණය කරනු ලබන්නේය. එසේ නොවන්නේ නම් අධ්‍යාපනය අතින් ඉහළ සිටින්නාවූ මෙම පාසල් ගුරුවරයාටද මායිම් ගමේ බහුතර සිංහල ළමයින් දෙමළ භාෂාව කතා කිරීම ගැටළුවක් නොවන්නේය. ජාතී අරගලය නැවතීම ඇරඹිය යුත්තේ මේ වෘක්ෂ මූලය අසලින් නොවේද?
පෙර ආත්මයේ ද්‍රවිඩයෙකු මේ ආත්මයේ සිංහල අම්මෙකු දාව ඉපදිය නොහැකිද? පුනරුප්පත්තිය බෞද්ධාගමික සංකල්පයක් නම් එසේ විය හැකිද? නැතහොත් ද්‍රවිඩ,සිංහල,මුස්ලිම් නම් වූ මෙම ජාතීන් අනුව බෙදී යාම මිනිසා විසින්ම ගොඬනඟා ගත් ඊනියා සංකල්පයක් පමණද? අපි මිනිස්සු පමණක් නොවේද? එකම සත්ත්ව කොට්ඨාසයක් නොවේද? එකී විමසුම ගැඹුරු ලෙස මෙම චිත්‍රපටය තුළ රූපණය කරනා බව මට හැඟුණි.
The Other
නිර්ධන පාන්තිකයෙකුගේ යුධමය අත්දැකීම කෙසේ වේවිද යැයි ඔබ මොහොතකට සිතුවාද? ඔබ මෙන්ම මාද යුද්ධය අත්දැක ඇති ආකාරය අනුව යුද්ධය එවැන්නක්මදැයි යන්න අප නැවත සිතා බැලිය යුතුමය. ත්‍රීරෝද රථ රියදුරකුගේ ඇසකින් මේ දෙස විග්රහයක යෙදෙන්නා වූ කතාංගයක් ලෙස අශෝක හඳගම නිර්මාණය කළ මෙම කොටස දැක්විය හැකිය.
මෙම කොටස තුළ ගැඹුරු ලෙසින් සාකච්ඡාකරනුයේ මිනිසාගේ මානුෂීය හැඟීමක් පිළිබඳවය. පශ්චාත් යුධ සමයක සිය නැතිවූ පුතා සොයා දෙන ලෙසින් රජයට බල කරනා උද්ඝෝෂණයකට සහභාගී වන ද්‍රවිඩ මවක්ද ඈ සමඟ අතරමඟදී හමුවූ ද්‍රවිඩ තරුණියක්ද ඔවුනට උපකාර කරන්නාවූ ත්‍රී රෝද රථ රියදුරෙකුද යන එකිනෙකට වෙනස් චරිත ත්‍රිත්වයක් කොළඹ නගරය ආශ්රිත කඨෝර සිංහල සමාජය තුළ එකිනෙකා හා මුසු වීම අපූර්ව ලෙස මෙහිලා රූපණය කොට තිබුණි.
යුද්ධය හේතුකොටගෙන අහිමි වූ දෑ අපමණය. ඒ සියල්ලටම වඩා සිය ආදරණීයන්ගේ ජීවිතයන් මිල කළ හැකිද? උතුරේ මෙන්ම දකුණේද අපමණ සංඛ්‍යාවක් මිය ගියෝය. ඒ වෙනුවෙන් වැළපෙන උන් අපමණය. චිත්‍රපටයේ අවසන් භාගයේදී සිංහල අම්මාගේ දරුවාද දමිළ අම්මාගේ දරුවාද යුද්ධයට යන ආකාරය නිරූපණය කරන්නේය. ඔවුන් දෙදෙනාම යුද්ධයට යන්නේ “ යුද්ධය අවසන් කිරීමේ “ පරමාර්ථයෙනි. වේදනාබර සමාජයක හදවත් ගිනි අවිළුවා වූ එම යුද්ධය ජාතීන් දෙක අතර සටනක් නොව සංවිධානයන් කිහිපයක ලාභ උපේක්ෂාවෙන් බිහිවූ ගින්නක්මය. එයට බිලි වූවෝ බිලි වූයේ එම ගින්න නිවාලීමේ අරමුණෙනි. එහි වටිනාකමක් තිබේද? නැතිද? අද අපට එය මතකද?
නමුත් මෙම යුද්ධය හා ඉන්පසු ඇතිවූ ආකල්පයන් සමාජය තුළ මුල් බැස ඇති ආකාරය අනුව තවදුරටත් උතුරේ එකාද ලාංකිකයෙකි දකුණේ එකාද ලාංකිකයෙකි යන සංකල්පය අප තුළ පවතීද නැතිද? ත්‍රීරෝද රථ රියදුරු තරුණයා අවසාන ඇමතුම ලබා ගන්නා විට ද්‍රවිඩ තරුණිය දුරකථනයට පිළිතුරු නොදී ඉවත දමනා අවස්ථාවකින් චිත්‍රපටය අවසන් වේ. කෙතරම් ගැඹුරු මානුෂීය අයුරකින් අප බැඳීමකට නතු වුවද එම ඇතිවූ පැල්ම අපට වසාලිය හැකිද යන්න ගැටළුවකි. තම අහිමි මතකයන් වෙනුවෙන් දකුණ උතුර කෙරෙහි වෛරී වත්දී අහිමි මතකයන්ගේ කඨුක බවින් පීඩා විඳින උතුර දකුණ කෙරෙහි වෛරී වත්දී එම ඇතිවූ බැම්ම කෙසේ නම් බිඳ හෙළිය හැකි වේද?
තුන්දෙනා
ලිපිය දීර්ඝ වූ බව පෙනෙනා බැවින් මෙසේ අවසාන කරන්නට සිතුවෙමි. යුද්ධයක් ඇතිවූයේ නැතිනම් සංහිඳියාව පිළිබඳ ගැටළුවක් පැණ නඟින්නේ නැත. සංහිඳියාව මාකට් කිරීමට උත්සහ දරණා ඊනියා දේශපාලනිකයින්ද උන්ට නතුවූ ඊනියා පුද්ගලයින්ද බිහිවන්නේ නැත.
ද්‍රවිඩ සිංහල ගැටළුවක් හෝ උතුර දකුණ පළුද්දක් පිළිබඳව කතා කළ යුතුද නොවේ. මාධ්‍ය මිනී කාක්කන් මෙන් යුධ භූමියේ දඩයමේ යෙදෙන්නේ නැත. ස්වකීය අරමුණු උදෙසා යුද්ධය විකුණා කන්නේ නැත. දේශපාලකයෝ ස්වකීය වාසි තකා යුද්ධයේ ඉරි තැළුණු හැඟුමන් භාවිතා කරන්නේ නැත.
අප සියල්ලෝම කිසියම් වූ අදිසි හස්තයක හෙවණැල්ල යට සැඟවී සිටින්නෝ වෙමු. එකී සෙවණැල්ල යට සිටිනා තාක් අප දකිනුයේ අඳුර පමණි. අන්ධකාරයේ වෙලී සිටින්නා අන්ධකාරයෙන් එපිට ආලෝකයක් තිබේ යැයි නොදකින්නා සේම අපද අප වටකොට ඇති මෙකී අන්ධකාරයේ සිරවී ආලෝකයට බියවී සිටින්නෙමු. ආලෝකයක් නොමැති යැයි සිතා සිටින්නෙමු. අතැම් විට මේ අප සෙවණැල්ලෙන් මිදිය යුතු කාලය විය හැකිය. අදිසි හස්තය කාගේ දැයි සොයා හස්තයේ සෙවණැල්ලෙන් බේරී පිටතට පැමිණිය යුතු කාලය විය හැකිය.
තුන්දෙනා තුළ නිරූපිත සංහිඳියාව සංකල්පය හෝ පශ්චාත් යුධ කාලීන නිරූපණය හෝ ද්‍රවිඩ ජාතිකයාගේ කෝණය හෝ සිංහලයාගේ විලම්භීත මානසිකත්වය හෝ පිළිබඳව තර්කනය කළ යුතුය. එමෙන්ම අන්තවාදී නොවී ත්රස්ථවාදියාද මනුස්සයෙකි යන කොණය තුළද සිර නොවී සියළු සත්ත්වයෝ මනුස්සයෝ හෝ අමනුස්සයෝ යන සංකල්පයෙන්ද බැහැරවී සැබෑ ගැටළුව කුමක්ද යැයි තර්කනය කළ යුතුය. එයට විසඳුම් සෙවිය යුතුය. මෙම නිර්මාණය තුළ ඇති නිරූපිතයන් තුළ සිංහලයාද මනුස්සයෙකු නොවේදැයි තර්ක කිරීමට මත්තෙන් මෙන්ම එයට පක්ෂව සියළු ත්රස්ථවාදියෝද එක මවකගේ දරුවෝ යැයි තර්ක කිරීමට මත්තෙන් අප විමසා බැලිය යුත්තේ මේ සියල්ලටම පාදක වූ මූල බීජයයි. නැතහොත් නුදුරු තවත් යුගයක අපට “පශ්චාත් යුධ සමයක්“ පිළිබඳ චිත්‍රපට නැරඹීමට සිඳුවෙනවා නොඅනුමානය.
෴වාරා (ASD)෴
31/05/2018