Posted in නාඳුනන්නෙකුගේ දිනපොත

නාඳුනන්නෙකුගේ දිනපොත #5

දිනපොතේ පෙර පිටුවට ⇒ අගොස්තු 29 බදාදා

සැප්තැම්බර් 11 අඟහරුවාදා

ආදරය…
හැමදේටම අර්ථකථනයක් තියෙන ලෝකයේ නිශ්චිත අර්ථකථනයක් නොමැති එකම මානුශීය හැඟීම. එකිනෙකට වෙනස් මිනිසුන් එකිනෙකට වෙනස් විදියට විදින, විදවන ආත්මාර්ථකාමී හැඟීම.
ආදරය සාපේක්ෂයි…
ඇතැමුන්ට උත්තරීතර සජ්ජායනයක්. නමුත් ඇතැමුන්ට සදාතනික විහිළුවක්. තමන් අර්ථ දක්වන ලද ආදරය, ආදරයම යැයි විශ්වාස කරන මිනිස්සු පිරිච්ච ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ. ඉතින්… ආදරේ ආත්මාර්ථකාමී හැඟීමක් වෙන්නේ අන්න ඒකයි.
මටත් ඕනි ආදරේ මොන වගේද කියලා දැනගන්න.
මං දකින විදියට ආදරේ දකින තවත් කෙනෙක් හොයාගන්න.
මේ ජීවිතේ අම්බලමක්. අම්බලම එකම තැන හැමදාම. ඒත් මේ අම්බලමට ගොඬවෙලා යන්න කී දෙනෙක් නම් එනවද? ඒ හැමෝම මේ අම්බලමේ රැදෙනවද..? නැහැ. හිසට සෙවණක් නැති හව්හරණක් නැති කෙනෙක් ඇරුණම වෙන අය මේ අම්බලමේ නවතින්නේ නෑ. ඒකයි… අම්බලම පාළුවට ගිහින් තියෙන්නේ.
අම්බලමේ සෙවණ හොයාගෙන කවදා හෝ කව්රුමහරි ආවොත්….?
මේ අම්බලමට පුළුවන් සෙවණ දෙන්න. අම්බලම පවතින තාක්කල් ඒ හිසට සෙවණක් වෙන්න.
ඒත් එහෙම අය අල්පයි.

   මේ අම්බලමේ ආදරේ කියන හිඟන්නටත් ඕනි තරම් ඉඩ තියෙනවා. අම්බලම බලාන ඉන්නවා. ඒ හිඟන්නා එනකම්. අම්බලම ඇතුළේ නිදාගන්නකම්…

මං එයාව ආයේ දැක්කා. ආයේ ආයෙත් දැක්කා. හැබැයි අහම්බෙන් නෙවෙයි. මම බස් නැවතුම පුරාම විදුලි කණුවක් වගේ එකම තැන හිටගෙන ඉඳලා එයා එදා නැඟපු බස් රථය ගැන ඔත්තු බලලා බලලා එයා බස් නැවතුමට එන යන වෙලාවන් ගැන හොඳටම නිරීක්ෂණය කරලා එතැන් පටන් ඒ වෙලාවන් වලටම බස් නැවතුමේ කාලය ගෙවලා ගෙවලා එයා යනඑන තැන් වල අතොරක් නැතුව කරක් ගහලා දරපු උත්සහයෙන් තමයි මම එයාව දැකගත්තේ…!

හිත් වලට එන ඉලක්කයන් හරිම අමුතුයි. විශේෂයෙන්ම පිරිමි හිතකට. පිරිමි හිත් ගල් වගේ කියලා හැමෝම කියනවා. හරිම දරදඬුයි. කුරිරුයි. අධමයි. ඒත් ඒ හැම පිරිමි හිතක් ඇතුළේ මෘදු මල් පෙතිගොන්නක් සැඟවිලා තියෙන බව ඔබ දන්නවාද..? මතුපිට ඝනැති කවරය කියන්නේ රැවැටිල්ලක් පමණයි. පිරිමි හිතක් ලෝකේට පේන්න කරන රැවටිල්ලක්. මොකද එහෙම නොකළොත් පිරිමියාට පැවැත්මක් නෑ. හැම පිරිමියෙක්ටම බෑ මේ කවරෙන් වහගෙන තියෙන සුමුදු මුදු මල් පෙති ටික හැමදාටම සඟවාගෙන ඉන්න. ඉතින් අතැම් පිරිමි අතින් කවරදාක හෝ ඒ ඝනැති කවරය බිඳිලා යනවා. නැත්නම් කවුරුහරි බිඳලා දානවා. ඒක භයානකයි. මන්ද ඉන් පස්සේ ඒ පිරිමියා බොළඳ පෝරිසාදයෙක් විදියටයි සමාජය දකින්නේ. ඇත්තටම ඒ පිරිමියා බොළඳද…?
    පිරිමි හිතේ ඉලක්කයක් පැළ වුණාම ඒ පැළේ දළුදාලා රූස්ස ගහක් විදියට වැවෙනකම් පිරිමි හිතකට ඉස්පාසුවක් නෑ. ඒක වෙන්නැති පිරිමි ඔතරම් කලබල. අතැම් තීරණ වලදී අමන විදියට ක්‍රියා කරන්නෙත්. පිරිමියා ආසයි තමන්ගේ සිත් පොළවේ පැළවෙන ඒ පැළය දළුදාලා තමන්ම සෙවණක් සිසිලසක් සලසන ආකාරය දකින්න. ඒක විදින්න. ඉතින් පිරිමි ඒ උදෙසා නොකරන දෙයක් නොමැති තරම්.
    විශේෂයෙන්ම ආදරය කියන බීජය රෝපණය වෙන්න ඇරඹුණාම….

    මට ඕනි වුණා එයාට අඟවන්න මං එයාගේ පස්සෙන් එනවා කියලා. ඒකට මම නොකරපු දෙයක් නැති තරම්. එයා යන යන හැම තැනම මං එයා පස්සෙන් ගියා. එයා තෙවැනි වරටත් උසස් පෙළ හදාරණ නංගී කෙනෙක් කියලා මම දැනගන්නේ ඒ අනුවයි.
මං එයාව අගය කරනවා. දෙවැනි වරටත් අසාර්ථක වුණාම මම විභාගය කියන වචනේ මගේ සමස්ත ජීවිතයෙන්ම මකා දාලයි තිබුණේ. ඇත්තටම මට විභාග වලින් මැනෙන සාම්ප්‍රදායික මිනිසෙක් වෙන්න කවමදාවත් උවමනා වෙලා තිබුණේ නෑ.
මට ඕනි මම වෙන්න…

තමන්ගේ පස්සෙන් කොල්ලෙක් එනවා කියලා දැනගත්තම අතැම් කෙල්ලෝ ආඩම්බර වෙනවා. ඒත් ඇතැම් කෙල්ලෝ බය වෙනවා. තවත් කෙල්ලෝ ජාතියක් ඉන්නවා ඒ කොල්ලට ඉඟි බිඟි පාන. මේ හැම වර්ගෙකින්ම මට අත්දැකීම් තියෙන නිසා මෙයා මොන වර්ගෙකට අයත් සත්ත්වයෙක් දැයි දැනගැනීමේ අප්‍රමාණ කුතුහලයක් මගේ හිතේ තිබුණා. ඒ කුතුහලය නටන උණූ වතුර වගේ මගේ සිත කියන කේතලය ඇතුළේ පුදුමාකාර පෙරළියක් ඇති කරමිනුයි තිබුණේ.
අද මට ඒ ගැන දැනගන්න ලැබුණා.
එයාගේ භෞතික විද්‍යා පන්තිය තිබුණේ ඇතුල් පාරකට වෙන්න. ජනප්‍රිය ගුරුවරයෙකුගේ පන්තියක් නිසා මෙතැන නිතරම පන්ති පැවැත්වෙන වෙලාවන් වලට පෙර හා පසුව අධික සෙනඟක් ගැවසුනා. මේ පන්තිය ඉදිරියේ තියෙනවා තේ කඩයක්. ටකරන් වහලකින් අටවාගත්ත පොඩි කඩකාමරයක්. සිරිසේන කියන මැදිවියේ මනුස්සයෙක්ට තමයි මේ කඩේ අයිති වෙලා තිබුණේ. විවේක කාලය ආවාම තමයි සිරිසේන බිසී වෙන්නේ. එතකම් කඩේට එන්නේ එකෙක් දෙන්නෙක්. ඒ නිසාමදෝ සිරිසේන මගේ සමාගමය ප්‍රිය කළා.
අතිශෝක්තියක් නෙවෙයි. මට පුළුවන් මිනිස්සුන්ගේ හිත් හොඳට අඳුනගන්න. ඒ හිත් එක්ක සෙල්ලම් කරන්න. සිරිසේන කියන්නේ ඒ කඩ කාමරය ඇතුළේ සිරවුණ වැඩවසම් සිරකරුවෙක්. ඒ සිරකරුවට දැනෙන පාළුව කාන්සිය මකන්න මම ඉල්ලමක් වුණා. ඇත්තම කිව්වොත් මම ඉල්ලමක් බව මම සිරිසේනට ඇ‍ඟ‍ෙව්වා. ඒ අනුව තමයි පන්තිය ඇරඹුන වෙලාවේ සිට අවසන් වෙන මොහොත දක්වාම මම එතැන ඉදගෙන අතොරක් නැතුව කියව කියවා ඉන්නේ.
එදා පන්තිය ඉවර වුණා. මම සූදානම් වුණා යන්න. එයාව ලුහුබඳින්න.
කළුපාට ඇඳුම…
සියුම් පෙති වලින් පීදුන කළු රෝස මලක් වගෙයි මට එයාව පෙණුනේ.
එයාට යාළුවෝ දෙන්නෙක් හිටියා. නිතරම යන එන. එයාලා බස් නැවතුම වෙනකම්ම එයා පස්සෙනුයි ඉන්නේ. මම එයාගේ වේගයට සමාන්තරව එයාව ලුහුබැන්ඳා.
සැළෙන පුළුලුකුළ මට කවිපද මතක් කරනවා. ඒ පද එකින් එක ගැලපීගෙන එද්දී කොහේදෝ ඉදන් පාවෙලා එන තවත් සිතුවිලි හුළඟකට අහුවෙලා ගහගෙන යනවා. ඊට පස්සේ තවත් නැවුම් සිතුවිල්ලක් දළුලනවා.
මගේ සිත සළිත වුණා.
මුලින්ම පසුපස හැරිලා බැලුවේ එයාගේ දකුණුපස මිතුරිය.
ක්ෂණිකව හැරිලා බලලා ඉදිරිය බලාගත්ත එයා කළු රෝස මලට රහසක් මිමිණුවා.
කළු රෝසමල එකවරම හැරුණා.
ඒ දෑස්…..
කිසිම ප්‍රේමණීය ආරාධනයක් ඒ දෑස්වල නෑ.
රත්වෙලා වෛරයේ ගිනිදැල්ලේ රැස් දහර පිට කරන්න පුපුර පුපුර බලාන ඉන්න ගිනි පුළිඟු දෙකක් වගේ.
   සියුම්ව සිත් අභ්‍යන්තරයේ ඇතිවුණ තිගැස්මක් මගේ නහරවැල් ඔස්සේ සිරුර පුරාම දුවන්න ගත්තා. ඒ තිගැස්ම ක්‍රමයෙන් මිදුණු සීතල හිමකැටිති වෙලා හදවත වෙලා ගන්නට සැරසුණා. නහර වැල් වල උදව්වෙන් මගේ දෙපා වලට වැදුණු ඒ දරුණු සීතල මගේ දෙපා සිටිතැනම රඳවාගෙන ගල් කළා. සීතල අයිස් කැට දෙපාවල දැවටෙනවා වගේ හිරියක් මගේ පාද අභ්‍යන්තරයේ දුවන්නට ගත්තා. මම නැවතුණා.
ඒ කුරිරු බැල්ම බිඳක්වත් අඩු නොකරපු කළු රෝසමල ඉදිරිය බලාගත්තා. ක්ෂණික තීරණයක් ලැබූ මුවදෙනක් මෙන් පසු නොබලා හැල්මේ ගමනක යෙදුණා.
විලම්භීත වූ මම සිටි තැනම ගල්වෙලා මගේ දෑසේ දසුණෙන් ඉවතට යන ඒ කුමාරිකාවගේ බොඳවෙන ඡායාව දිහා බලාන හිටියේ අතීරණාත්මකවයි.
ඇගේ එක බැල්මකට මගේ හදවත නතර කළ හැකිනම්……?

©වාරා
24/06/2018

Posted in නාඳුනන්නෙකුගේ දිනපොත

නාඳුනන්නෙකුගේ දිනපොත #4

දිනපොතේ පෙර පිටුවට ⇒ අ‍ගෝස්තු 13 ස‍ඳුදා

අගොස්තු 29 බදාදා

වළාකුළු හරිම සැහැල්ලුයි. ඔහේ සුළඟට පාවෙලා යනවා. හිතුමතේ. වළාකුළකට නිශ්චිත ගමනාන්තයක් නෑ. සුළඟ හමන්නේ කොහේද වළාකුළත් එ්ත් එක්කම පාවෙලා යනවා.
මමත් වළාකුළක්.
අනීවාරතේ පාවෙන ජීවිතේට අර්ථයක් නැතිලු. අර්ථයක් නැතිනම් අපි අර්ථයක් හොයාගන්න ඕනිලු. අපේ මිනිස්සුන්ට අනුව මං ඉගෙනගත්තේ නැති මිනිහෙක්. ඒ කියන්නේ නිකමෙක්…!
ඇත්තටම මං නිකමෙක්ද..?
බර්නාඩ් ෂෝ එක තැනක මෙහෙම කියලා තියෙනවා.
  ඉගෙනීම පාසලට පමණක් සීමා කරන ශිෂ්‍යයා කූඩුවක සිරවී වැඩෙනා කරුල්ලෙකු මෙන්ය.
ඔව්… මං ආසා නෑ කූඩු වෙන්න. මං විහ‍‍ඟ‍ෙක්. සුළඟත් එක්ක පියාඹන අහස නිජබිම කරගත්ත නිදහස් විහ‍ඟ‍ෙක්.
නමුත් අපේ සමාජයට මං කියන නිදහස් මතදාරියාව රස්තියාදුකාරයෙක්…!
අදත් මං රස්තියාදුවේ ගියා…!
අතොරක් නැතුව හැල්මේ දුවන ජීවිත දහස් ගණනාවක් මැද මං නිශ්චලව බලාන හිටියා. කපරාදු නොකළ කෙටි තාප්පෙට පිටදීලා මම බලාන හිටියා. මිනිස්සු දුවනවා. පැය විසි හතරේම දුවනවා. හොඳටම හති වැටෙනකම් දුවනවා. එහෙම දුවලා දුවලා හතිවැටුණම අපි නතර වෙනවා. විවේක සුවය ගන්න. නමුත් ඒ විවේක කාලය එද්දී අපිට ගොඩක් දේවල් මඟහැරිලා ගිහින්. ආයෙත් ඒ මඟ හැරුණු අතීතය පුනරූපණය කරන්න අපිට පුළුවන් වෙයි ද..?
මං දුවන මිනිහෙක් නෙවෙයි. ඒත් මං දන්නවා. මටත් කවදාම හරි දුවන්න වෙනවා. වෙන මොකටවත් නෙවෙයි. මට මාවම හොයාගන්න මේ දුවන සමාජේ ඇතුළේ මටත් දුවන්නම වෙනවා.
ඒත් ඒ කවදාද…?
ජීවිතේ කියන්නේ පුංචි පුංචි සිද්ධීන් දාමයක් එකට එකතු වෙලා ගොඩනඟපු අපූරු දම්වැලක්. ඒ දම්වැලට තවමත් පුරුක් එකතු වෙනවා. මගේ දම්වැල කොතරම් දිග ඇතිද..? මට අනාගතය දකින්න පුළුවන් නම්…!
මේ හැල්මේ දුවන හැම මනුස්ස පරාණයකටම උන්ටම සුවිශේෂී වුණ බලාපොරොත්තු තියෙනවා. මිනිස්සු දුවන්නේ ඒකයි. කිසිදාක නිමා නොවෙන බලාපොරොත්තු කියන අවීචි මහා නරකාදියේ වැල්ලේ උන් එරිලයි ඉන්නේ. ගොඩ එන්න දඟලන හැම වෙලාවෙම තව තවත් යට යනවා. වැල්ල තවත් පිරෙනවා. ඔව්… අපි ඉන්නේ මරු වැල්ලක…! හිස් වෙන්න වෙන්න තව තවත් වැලි පිරෙන නරකාදියක.
මටත් බලාපොරොත්තුවක් ලැබෙයිද…?
මටත් මේ ජීවිත මැරතන් එක පටන් ගන්න වෙයිද..?
ඔව්… මටත් බලාපොරොත්තුවක් ලැබුණා.
වීනස්…..
මං ඇයව දැකපු දෙවැනි දවස අද.
කහපාට සුන්දර ගවුමට ඒ පිරිපුන් යුවතිය මට පෙණුනේ කහ කිරිල්ලයක් වගේ. මුලින් දුටු දවසේ සිට හිතේ ඇඳිලා තිබුණ ඒ රූපය දිය මත මතුවෙන බෝලයක් වගේ ක්ෂණිකව මගේ හදවත මතුපිටට ඇදිලා ආවා. මම ඇයව අඳුරගත්තා.
හදවත ඇතුළේ ඇතිවෙන ඒ හැඟීම මට නුහුරු හැඟීමක් නෙවෙයි. මීට කළිනුත් මට පෙම්වතියෝ ඉදලා තියෙනවා. ඒත් මං දන්නවා. අළුතින් මගේ හිතට කෙල්ලෙක් ඇතුළු වෙන සෑම මොහොතකම මට දැනෙන්නේ ඒ හැඟීම නැවුම්ම නැවුම් හැඟීමක් වගේ. සමහර විට ඒ පිරිමි සිතේ ස්වභාවය වෙන්න ඇති. ඉතින් මෙයා ගැනත් මට ඇතිවුණේ නැවුම් හැඟීමක්. පෙර ඇතිවෙලා තිබුණු සියළු හැඟීම් ගලන දිය දහරකට අසුවෙලා ගසාගෙන ගිහින් වගේ. ඔව්… පිරිමි සිතකට අළුත් ගැහැණු චරිතයක් ඇවිත්…!
මම බැම්මෙන් මෑත් වුණා.
එදා වගේ එයා අතුරුදහන් වෙයි කියන බව මට තිබුණා. ඒ නිසාමයි මම එයා පසුපස ලුහුබඳින්න ගත්තේ.
කොල්ලෙක් කෙල්ලෙක්ගේ පස්සෙන් යෑම සිංහල සංස්කෘතිමය සිද්ධාන්තයන්ට අනුව අමන ක්‍රියාවක්. අපේ සංස්කෘතියේ කෙල්ලෙක් පස්සෙන් යන කොල්ලෙක්ව හඳුන්වන්නේ වලත්තයා පැණියා වැනි අන්වර්ථ නාම වලින්. ඇත්තටම කොල්ලෙක්ට කෙල්ලෙක් පස්සෙන් යන්න බැරිද..?
මිනිස්සු පැය ගණන් කලාගාරතුළට වෙලා අපූරු සිත්තම් දිහා බලාන ඉන්නවා. ඒවා විචාරය කරනවා. ඒවා අගය කරනවා. හැකිනම් මිලදී ගන්නවා. ඔව්… අපේ සංස්කෘතියට අනුව ඒක කලාව.
කාන්තාවත් සුන්දර සිත්තමක්…!
සජීවී සිත්තමක්…!
අප්‍රාණික සිත්තමක හා ප්‍රාණය සහිත සිත්තමකට මිනිස්සු ලබාදී තිබෙන අර්ථ කථන හරිම පුදුමයි. කාන්තාවකගේ සුන්දරත්වය නොවිඳින පිරිමියෝ මේ ලෝකේ ඉන්නවද..? එහෙම පුද්ගලයින් නොමැති නම් ඇයි මෙවන් තහංචි. සම්බාධක…
මම වළාකුළක්. ඔහේ පාවෙන වළාකුළක්.
වළාකුළු බැඳීමකට යටත් නෑ.
ඇය ඇවිදින විට පුළුලුකුළ සැළෙන හැටි ආනන්දනීයයි. මගේ සිතට කවි සිතුවිලි ගලාගෙන එන්න ගත්තා. සුන්දරත්වය දකින්න දකින්න තවත් අමුතු ආනන්දනීය අත්දැකීම් උද්දීපනය වෙනවා කියන්නේ මේ හේතුව නිසා වෙන්නැති.
ප්‍රධාන මාර්ගය දිගේ බස් නැවතුම දෙසට ඇය ගමන් කළා. මං පසුපසින් ගියා. මං පසුපසින් එන බව ඇය නොදැන සිටි බව මට සහතිකයි. නමුත් ඇය කඩිසර යුවතියක්. ඇය පය තැබුවේ කඩිනමින්. මගේ පාදත් ඇගේ රිද්මයට යා වුණා.
බස් නැවතුමේ රැඳුණු ඈ හොඳින් පෙනෙන ස්ථානයකට මම නැවතුණා. ඇය ඉදිරියට යාමට හෝ ඇයට කතා කිරීමේ ආශාවක් ඒ වන විටත් මගේ සිත් කොණක මතුවෙමින් තිබුණත් තරුණයෙකු ලෙස නොදන්නා යුවතියක් ඉදිරියේ “චාටර්“ වීමට ඇති අකැමැත්ත හේතුකොටගෙන මම  නැවතුණා.
යුවතියකට අපේ සිංහල සමාජයේ නියමිත ස්ථානයක් තියෙනවා. ඇය එම ස්ථානයෙන් පිටතට පය නොතැබිය යුතු යැයි සම්මතයක් තියෙනවා. එහෙම පිට පනිනා අයෙකු නම් ඇය වේසියක්, ගණිකාවක්, බඩුවක් යැයි සම්මත කරන්න සැදී පැහැඳී සිටිනා දහස් සංඛ්‍යාත දෑස් මේ වෙද්දීත් කහ කිරිල්ලිය වටේ සරණ බව මම දන්නවා. එවැනි පසුබිමක ප්‍රසිද්ධ බස් නැවතුමකදී නාඳුනන තරුණයෙකු නැතහොත් රස්තියාදුකාරයෙකු සමඟ කතාබහකට කිසි සේත්ම මෙම යුවතිය එක් නොවෙන බව මම දන්නවා.
ඔව්… අපේ සංස්කෘතිය ඇතුළේ කෙල්ලෙක්ට කොල්ලෙක් හඳුනගන්න නිදහසක් නෑ.
මම දන්නවා. ඇය පිළිබඳ මා සිත තුළ තෙරපෙනුයේ ප්‍රේමයක්ම නොවෙන බව. ඒ ඇය පිළිබඳව වූ යම්කිසි ආකර්ශණයක් පමණයි. නමුත් ඒ ආකර්ශණය ඇතුළේ මම අපූරු වින්දනයක් ලබනවා. අපූරු සංතෘෂ්ටියක්…! ශෘංගාරික ආතල් එකක්…!
මම ඇයව හොඳින් පෙනෙන විදියට සිටපු තැන සීරු මාරු වුණා.
වීනස්…. ඔව්… වීනස් ඇය වගේ වෙන්නැති.
ඇය විමසිල්ලෙන් අවට බලන බව මම දැක්කා. ඇතුළුවෙන හැම බසයක්ම ඇගේ තරුකැට දෑසේ පහසට නතුවෙන අපූරුව මම දැක්කා. ඒ හැම මොහොතකම සුන්වූ බලාපොරොත්තුවකින් ඇගේ වත මුකුලිත වෙන අයුරු දුටුවම මට මතක් වුණේ නිදිකුම්බා පැළයක් මැලවිලා යන හැටි. ඇය නොඉවසිලිමත් යුවතියක්. නමුත් ඒ නොඉවසිල්ල පිටතට නොපෙන්වන්න අපමණ උත්සහයක් ගන්නා සමාජයීය සත්වයෙක්.
අවසානයේ ඇගේ විපරම් දෑස ආලෝකමත් වී වත විකසිතව යන අපූරු චමත්කාර දර්ශණයක් මම දැක්කා. කවි සිතකට කවි උණන අපූරු විපර්යාසයක් ඒ….
සීටීබී බස් රථයේ රතුපාට අතරට දාහය නිසා දහඩියෙන් මත්වුණ ඇගේ මුහුණත් එකතු වුණා. කවුළුවට බරදී අනන්තය දෙස බලාගෙන ඉන්න ඇගේ දසුන මාව මන්මත් කරමිනුයි තිබුණේ. ඇය කෙරෙහි සිතෙහි ඇතිවෙමින් තිබුණ ආකර්ශණය කෙමෙන් දළුළන බව මට හැ‍ඟ‍ෙන්නට වුණා. ඔව්…. අද උදේ ඒක පුංචිම පුංචි පියල්ලක් විතරයි. ඒත් දැන් කෙමෙන් දළුලන බලාපොරොත්තුවක්….!
මගේ ජීවිතේටත් බලාපොරොත්තුවක්…..!
අනන්තය දෙස බලාන ඉන්න සුරඟන දෑස රැ‍ඟ‍ෙන බසය පිටත්ව යන විටත් එයට නැඟ ඇය පසකින් ගමන් කිරීමට ඇති ආශාව මා නවතාගත්තේ බොහොම අපහසුවෙන්. හැමදෙයකටම නිශ්චිත කාලයක් තියෙනවා… මං ඒක දන්නවා.
පිටව යන බසය දිහා මං බලාන හිටියා.
පුදුමයි….
දැන් මාත් හැල්මේ දුවන මිනිහෙක්….!

වාරා (ASD)

දිනපොතේ ඊළඟ පිටුවට ⇒ සැප්තැම්බර් 11 අඟහරුවාදා

Posted in නාඳුනන්නෙකුගේ දිනපොත

නාඳුනන්නෙකුගේ දිනපොත #3

දිනපොතේ පෙර ලිපියට ⇒ ජූලි 31 අගහරුවාදා

අ‍ගෝස්තු 13 ස‍ඳුදා

        වැස්ස…
මං ආසයි වැස්සට. වැස්සත් එක්ක එන සීතලට. ඒ සීතලත් එක්ක ගුලි වෙලා පොදි ගැහෙන සිතුවිලි වලට. ඔව්… මං හරි ආසයි.
ජීවිතෙත් හරියට වැස්ස වගේ. වෙලාවකට ධාරාණිපාත වර්ෂාවක්. පළාතම ගුගුරුවාගෙන පහත් බිම් යට කරගෙන වහිනවා. හරියට අපේ ජීවිත වල අතැම් අවස්ථාවන් සමහර හේතු නිසා යටවෙලා විනාශ වෙලා යනවා වගේ. තවත් වෙලාවකට වර්ෂාව හරිම ලාමකයි. වහිනවා. හැබැයි ගංවතුරක් නෑ. පරිසරයම නැවුම් කරනවා. ඔව්. අළුත් ආරම්භයක් දෙනවා. අන්න එහෙම වැස්සකට පස්සේ පොළොවෙන් එන ඒ නැවුම් සුවඳ….. ඔව්. මටත් ඕනි අන්න එහෙම වැස්සක්. මොර සූරන ධාරාණිපාත වරුසාවක් නෙවෙයි. සුන්දර ළපටි වරුසාවක්.
අදත් වහිනවා. මොර සූරන වැස්සක් නෙවෙයි. සුන්දර ළපටි මඳ වැස්සක්. එහෙම වැස්සකට මිනිස්සු කියන්නේ පිනි වැස්සක් කියලා. ඒ වැස්සත් එක්ක එන අතේ හිරිගඬු පිපෙන සීතල නිසාම මම අත්දෙක බැඳගත්තා. ඒ වුණාට වැසි කුමරිට පෙම් බඳින සුළං කුමාරයෝ මං ගැන මොහොතකටවත් හිතුවේ නෑ. ඇත්ත… ආදරේ ආත්මාර්ථකාමීයි. තමන් පෙම් කරන බැඳීමට මාර විදියට ලෝබයි. ඒක වෙන්න ඇති වැසි බිඳු සිපගන්න හදන සුළඟට මාව නොපෙනෙන්න ඇත්තේ. සුළං කුමාරයින්ගේ ශෘංගාරාත්මක ස්පර්ශයෙන් වල්මත් වුණ වැසි බිංඳු අයාලේ යන ගමන් මගේ ඇගෙත් වැඳුණා. මගේ ගතට දැනෙන සීතල තවත් වැඩි වුණා.
මං හිටියේ වහලා දාපු කඩ කාමරේ පියස්ස යට. අයාලේ යන මගේ ජීවිත ගමන වැස්ස නිසා මොහොතකට මේ කඩ කාමරේ වහළ යට නතර වෙලා තිබුණා. නමුත් මං දන්නවා. ඒක නිශ්චිත නැවතුමක් නෙවෙයි. මම වහලා දාපු ලෑලි දොරට තවත් බරවුණා. දෑත් කිටි කිටියේ තර කරගත්තා. අත්ලෙන් බාහු පිරිමැද්දා. සීතල අඩුවෙන්න.
වැස්ස කවදාවත් කියලා එන්නේ නෑ. කියලා එන්න හැඳුවත් මිනිස්සු ගනං ගන්නෙත් නෑ. මිනිස්සුන්ට ඒ තරම් වැඩ රාජකාරී. ඉතින් මිනිස්සු වැස්සට ශාප කරනවා. අදත් ඒ ශාපයන් මේ හැමතැනම පැතිරෙණවා ඇති. ඒවා වැසි බිංඳු වලට ඇහෙනවාත් ඇති. ඒක වෙන්නැති අහසින් සතුටින් පැනලා එන වැසි බිංඳු පොප් ගාලා බිමට වැටිලා මැරිලා යන්නේ. අපිට පව් සිද්ධ වෙනවද වැසි බිංඳු මැරුණම…?
ශාප කරන මිනිස්සු කුඩ අස්සේ මිරිකිලා හනි හනික මහ පාරේ ඇවිදිනවා. සමහරු අතින් ඔළුව ආවරණය කරගෙන දුවනවා. තාර පාර මැද වාහන නම් කිසිම ගරු සරුවකින් තොරව සුපුරුදු ගමනේ යෙදෙනවා. එහෙම යද්දී රෝද වලට මිරිකුණු වැහි බිඳු වල මළකුණු හැම තැනම විසිරිලා යනවා.
නිල් පාට අළුත්ම කාරයක් එක පාරටම තිරිංග තද කළා.
අර මැරුණු වැහි බිඳු දහස් ගානක් එකපාරටම අහසට නැඟිලා විසි වෙලා ගියා.
එතකොටයි මම එයාව දැක්කේ….!

    වීනස් කියන්නේ ග්‍රීක සාහිත්‍යයේ ඉන්න ලස්සනම දෙව්දුව කියලා මම කියවලා තියෙනවා. මම මීට කලින් වීනස්ව දැකලා තිබ්බේ නෑ. ඒත් මට විශ්වාසයි. ඒ හිටියේ වීනස්…!

දිය ඇල්ලක් වගේ කඩා හැළෙන උරහිසෙන් පහළට හැළෙන කෙස් කළඹ. නා දළුත් පරද්දන්න තරම් ලස්සන දිගු තොල් පෙති, රවුම් චූටි නහය වටේට පිරිණු ඇත්දළ පාට. ඉටියෙන් වාත්තු කළා වගේ දිලිසෙන ඒ පිරුණු කම්මුල්. මිණිකැට දෙකක් වගේ දිලිසෙන ඒ ඇස්. නළලතට වැටුණු කුඩා කෙහෙරැල්ල. මේ සියල්ලෙන්ම සපිරුණු ඒ මුහුණ. මට මතක් වෙන එකම උපමාවයි තිබුණේ. ඒ තනි කළුවර අහසේ පායලා තිබුණු පූර්ණ චන්ද්‍රයාව. ඔව්.. එයා පුරහඳක් තමයි. හැබැයි ඒ පුරහදේ හාවෙක් නෑ. තනිකරම කහ පැහැති දිලිසෙන මතුපිටම විතරයි.
ඇඳන් හිටපු රතුපාට ඇඳුමෙන් ඉදිරියට නෙරා ඇවිත් තිබුණු ඇගේ ස්ත්‍රී රූපකායන් මාව මන්මත් කරලයි තිබුණේ. ඇත්තටම මේ සීතලේ මගේ මුළු හදවතම ශෘංගාරාත්මක උණූසුමක් වෙළන්න ඒ සිරුර සමත් වුණා. ඒත් ඒ ශෘංගාරය යටපත් කරමින් ඇගේ මුහුණේ ඇදුණු සිනාවක් මාව වෙලාගත්තා. මාව අතරමං වුණා. අඳුරු ආගාධයක.
ඔව්…. මං හිටියේ අඳුරේ. මං වැටුණා.. දිගටම වැටුණා. තවත් පහළට. කිසිම එළියක් නෑ. ඒත්… ඔව්.. මට පේන්න ගත්තා. අඳුර මැදින්. එකම එක ආලෝකයක්. සාවෙක් නැති පුන්සඳක්…!
මම ඒ පුන්සඳ දිගේම ආවා. ඒ එළිය දිගේ. ඒත්….! මං දැක්කේ රතුපාට ලදරම් සීටීබී බස් එකක් දුම් දාගෙන පිටත් වෙනවා. එයා හිටපු තැන නෑ. ඒ පුන්සඳ වැසි සුළං ප්‍රේමාලිංගනය ඇතුළේ අතුරුදහන් වෙලා…!
මම කලබල වුණා.
මට ආයෙත් එයාව දකින්න ඕනි උණා.
පිනි වැස්ස නොතකාම මම පාරට පැන්නා. වැහි කුමාරියෝ මගේ ඇගේ හැප්පුණා. වැහි සුළං ප්‍රේමයට දුෂ්ඨවන්තයා වුණ මම ඒ ප්‍රේම ජවනිකාව අතර මැඳින්ම හැමතැනම දිව්වා. ඒත්…. එයා නෑ. එයා අතුරුදහන් වෙලා.
මම ආයෙත් පරණ තැනටම ආවා. ඒ පියස්ස යටට.
ඇය මායාවක් විය හැකිද…?
නැහැ… මම ඇයව දැක්කේ ඇත්තටම. ඒක මට විශ්වාසයක් තිබුණා. නමුත් ඇය අතුරුදහන් වුණේ කොහොමද..? ඇසිල්ලකින්. මට මහා හිස් බවක් දැණුනා. මට තවදුරටත් සීතල දැණුනේ නෑ. මොකද වැස්ස පහවෙලා ගිහින්. සුළ‍‍‍ගේ හා වැස්සේ ඒ සීතල රෝමාන්තික රංඟනය නිහඬ වෙලා ගිහින්. ඈතින් යන සීටීබී බස් රථයේ කළු දුම පරිසරය වසාගෙන තිබුණා. හරියට මගේ පුරසඳ ගිලගත්ත රකුසෙක් වගේ.

   මට ආයෙත් දවසක් ඒ පුන්සඳ දකින්න ලැබෙයිද…?
    නැත්තම් එයාත් මගේ ජීවිතේට ආපු පිණි වැස්සක්ම වේවිද…?

වාරා (ASD)

    දිනපොතේ ඊළඟ පිටුවට ⇒ අගොස්තු 29 බදාදා