Posted in වාරාගේ හුස්ම

marketing and මා කටින්…!

අපි සුන්දර රටක්ලු. ඉන්දියන් සාගරයේ තියෙන මුතු ඇටයක්ලු. හැමෝටම එන්නලු. ඇවිත් අපිව බලන්නලු. ඔන්න ඕක අහලා බුකිය පුරා නෙක නෙක සුන්දර ඡායාරූප බලාගෙන සුද්දා ගොඩබහිනවා කටුනායකින් ලංකාවට. ඔන්න ඒ සුද්දට හිතෙනවා ලෝක උරුම නගරයක් වුණ මහනුවරට එන්න.
මහනුවර කියලා කියන්නේ ලංකාවේ තියෙන වැදගත්ම ඓතිහාසික නගරයක්. දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කරලා තියෙන මනරම් මාළිගාවක් කේන්ද්‍ර කරගත් සුන්දර සංචාරක පුරවරයක්. එහෙමයි අපි කියන්නේ. ඔන්න සුද්දා ෆුල් ඒසී බස් එකේ සැපේ ඇවිල්ලා බහිනවා ගුඩ්ෂෙඩ් එකෙන්. කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු…!
 

             වටේට මුඩුක්කුය තැන තැන කුණු ගොඩය
            කඩකාමර ඇතුළත මලකුණු බොහෝය
            දූවිලි ඇවිළෙන ගද නාසය හකුළුවන
            සුරපුර යැයි නම් ලද නරකාදියකි යස

සුද්දාට සිංහලෙන් හිතුවනම් අම්මපා ෂුවර් සුද්දා ඔය කවිය හිතනවා…!
දැන් ඔය ඇත්තෝ බලනවා ඇති උඩ මාතෘකාවට කොහොමද මේ සුද්දාගේ ලංකා ගමන සමාන වෙන්නේ කියලා. අපි විමසලා බලමු…!
marketing කියලා බොහෝ වෙලාවට අපි කරන්නේ අමුතුම දෙයක් මවලා පාන එක. ඒ වගේම ඒ මවලා පාන දේ ඇතුළේ යම් කිසි තත්වයක් රඳවා ගෙන තමන්ගේ පාරිභෝගිකයින් දිගින් දිගටම තමා සන්තකයේ රඳවා ගන්න මේ වෙළද ප්‍රචාරකයෝ සමත් වෙනවා. එය අපි අත්දකින දෙයක්.
නමුත් ලාංකේය සංචාරක ව්‍යාපාරයේ තියෙන්නේ කටින් කරන මාකට් කිරීමක් මිසක් නියමාකාරයෙන් පාරිභෝගිකයාට යොමු කිරීමක් නෙවෙයි. අපි කොච්චර සුන්දර රටක් කියලා කෑ ගහලා උගුර බැරැන්ඩි කරගත්තත් වැඩක් නෑ. අපිට පෙන්වන්න තියෙන්නේ හැමදාමත් පට්ට ගහන අපේ මුතුන් මිත්තා හදපු නිර්මාණ විතරක්ම නම්.
ඇත්තටම අපි ෆේල්. අපිට මොනවද අළුතින් කියලා තියෙන්නේ. මොකුත්ම නෑ. ඒ මදිවට අපේ නගර. පට්ට ජරාවක්. නිසි කසල කළමණාකරණයක් නැති නිසි පිළිවෙළකින් තොර ගොඩනැගිලි සැලැස්මකින් සැකසුණු කසල ගොඩක් තමයි බහුතරයක් අපේ නගර.
අපිට තියෙනවා සුන්දර ග්‍රාමීය සෞන්ධර්යයක්. නමුත් අද වෙද්දී මොකද ඒවාට වෙන්නේ. ගම වල් වැදෙනවා. වල් නොවදින ගම් මා කටින් වෙනවා. ගම කාබාසිනියා වෙනවා. සංචාරක ව්‍යාපාරයේ නාමයෙන් ගම විකාරයක් වෙනවා. හොඳම උදාහරණය මීමුරේ. එදා තිබුණ මීමුරේ අද නෑ. අද තියෙන්නේ තනිකරම ව්‍යාපාරික මුරයක්. ඒකට මීමුරේ නොකියා අපි අද ඉදන් බිස්පුරේ කියමු. ගැලපෙන්නේ ඒ නම.
නගරයක අලංකාරය පිළිබඳ නගරසභාවකට බැන බැන ඉඳලා අපි එක තැන පල් වෙනවාට වඩා අපි හිතන්න ඕනි දේවල් ගණනාවක් තියෙනවා. ඇයි ටවුන් එක මැද තියෙන අපේ කඩේ අපිට ලස්සනකට පිළිවෙළකට තියාගන්න බැරි. දැන් කියයි දුප්පත් වෙළෙන්දන්ට එහෙම කරන්න කෝ සල්ලි කියලා. පිළිවෙළ කියන දේ පටන් ගන්නේ කොස්ස අතට ගෙන අතුගාන එකෙන්. රාක්කවල බඩුමුට්ටු නිවැරදිව අසුරන එකෙන්. එහෙම නොකර කඩේ තීන්ත ගාලා මිලාධික විච්ඡූරණ දාලා හැඩ වැඩ කළාට වැඩක් නෑ. පටන්ගමු අපි… පුංචිම තැනින්.
මහනුවර කියන්නේ ලෝක උරුම නගරයක්. ඒ වුණාට ජරාම විදියේ නගරයක්. රජකාලේ මහනුවර අතිසුන්දර නගරයක් ලෙස පවතින්න ඇති. නමුත් ඒ සුන්දරත්වය අද වල් වැදිලා. දැන් තියෙන්නේ කුණු ගොඩක් මිසක් ලස්සන නගරයක් නෙවෙයි. මුඩුක්කු කඩා බිඳ දමන එක නිසි විසඳුමක් නොවිය හැක. නමුත් ඒ උදෙසා විකල්ප ක්‍රමයක් පවතී නම්…? ඔය ලොකු පුටුවල ඉන්න ලොකු ලොකු උන්දැලා පත් කරලා තියෙන්නේ ඔන්න ඕකට. උන්ට විසඳුමක් මේකට හොයන්න බැරිද…? විසඳුම අධික මිලයිද…? එසේනම් ඒ සඳහා වෙනත් පියවරක් නැතිද..?
අතැම් අවස්ථාවන්හීදී මහනුවර මෙන්ම අතැම් නගර වලද අපි දකිනවා සුන්දර රටක් වෙත යන සංවර්ධන ව්‍යාපෘති සිදුවන බව. අන්න ඒ ව්‍යෘපෘති දේශපාලන ගුණ්ඩු නොවී නියාමාකාරයෙන් සිදු වුණානම් අපිටත් කටින් මාකට් නොකර අපේ රට නියම ලෙස මාකට් කරන්න පුළුවන් වේවි. එදාට සුද්දා සිංහලෙන් හිතුවොත් මෙහෙම කියාවි….

            දස දෙස විසිරුණු දියඇලි ළඟ ගං දහරා
            අහස උසට නැඟ එන දාගැබ් මාලා
            පය තබන තැන සැනසෙන නගර මනා
            හිදිමි මිහිපිට සුරපුර මත අඩිය තබා         

      ©වාරා 09/07/2018