වණ්ණ දාසි – කත්‍යානා අමරසිංහ
සූරිය ප්‍රකාශන
ෆැන්ටසිකරණයක පාඨකයා අතරමංව සිටිනා සමයක යථාර්ථවාදී නිර්මාණකරණයක් තුළ පාඨකයා ග්‍රහණය කොට තබා ගැනීමට නම් එකී නවකතාවේ ප්රකාශනය ප්‍රබල විය යුතුය. එවන් වූ ප්රකාශනයක් ෆැන්ටසියකට ඔබ්බෙන් ගොස් පාඨක මනස ග්‍රහණය කරගන්නේ, හුදෙක් යථාර්ථවාදී නිර්මාණයක් තුළ පාඨකයා ඝෘජුවම ස්වකීය ජීවිතය හා සබැඳෙන බැවිනි. එබැවින් යථාර්ථවාදී නිර්මාණකරණය අතිශය අපහසු ය. ෆැන්ටසිවාදී නිර්මාණකරණයකට වඩා බෙහෙවින්ම අපහසු ය. කත්‍යානා අමරසිංහ නම් නවකතාකාරිණිය වණ්ණ දාසී නවකතාව තුළ එකී අපහසුදායක කඩයිම ජය ලබන්නේ යැයි යන්න පාඨකයෙකු ලෙස මගේ මතය වේ.
ඕනෑම නවකතාවක් කියවූ පමණින් කිසිවක් ලියන්නට මට සිත් නොදේ. නමුත් වණ්ණ දාසී කියවූ සැණින් ඒ පිළිබඳව යමක් ලියා තැබිය යුතුම යැයි මට හැඟේ. එබැවින් එහි පාඨකයෙකු ලෙස මාගේ සිත්බැඳි අදහස් මෙසේ ගොනු කරන්නෙමි.
වණ්ණදාසී කතාංගය අමා රණ්බණ්ඩාර නම් වූ කත වටා ගෙතෙන්නකි. අමා රණ්බණ්ඩාර වෙත එල්ලවන ගෝරණාඩුවකින් පූර්විකාව සපයනු ලබන කතාව ඉන්පසු පුවත්පත් ලිපියක් හේතුකොට ගෙන ඇය පත්වූ අපහසුතාවය මූලික කොටගනිමින් ඇගේ අනුවේදනීය ළමා හා යෞවන අත්දැකීම සමාජය ඉදිරිපිට මෙලෙස නිරුවත් කොට දමන්නීය. එය ඇය විසින්ම ස්වකීය ආත්මකථනයේ යෙදීමකි.
“ ඔය ළමයගේ අම්මට පොඩි කරදරයක්… අද ගෙදර එන්නේ නැතිවෙයි..“ ( පිටුව:19)
ඇගේ ආත්මකථනය ඇරඹෙන්නේ වයලට් නැන්දාගේ එම ප්රකාශයෙනි.
අමාගේ මව නීලමනී අනන්ත අප්‍රමාණ වූ පීඩිත ජීවිතයකට උරුමකම් කී තැනැත්තියකි. කතාවේ ප්‍රධාන භූමිකාව අමා යැයි මා කීවට ඇගේ ආත්මකථනය තුළ කතාංගය තුළ සිටිනා වීරවරිය ඇගේ මව ය. සිරිමල් ගේ විවාහයත් සමඟ පවුලෙන් වෙන්වෙන නීලමනී සිරිමල්ගේ මළගමත් සමඟ මෙලොව තනිවෙන්නේ අමා රංබණ්ඩාර නම් වූ දියණිය සමඟය. ඉක්බිති සිය පවුලෙන් ද සැමියාගේ පවුලෙන් ද සිදුවන අසාධාරණකම් හමුවේ සිය දියණිය ජීවත් කරවීම උදෙසා ගෙන්දගම් පොළවට පය ගහන ඇය රැකියාවකට පෙළඹෙන්නී ය.
නීලමනී චරිතය තුළ මාතෘත්වයේ සෙනෙහස උදෙසා සිය කය විකුණන වෛශ්‍යාවක් නිර්මාණය වන්නේ ය. ඇය නිර්මාණය කරනුයේ කවුරු විසින් ද? ඇය එවැනි අධම පහත් තත්වයකට වැටෙන්නේ කුමන කරුණක් නිසා ද? මෙහෙදී කතුවරිය ඉතා සියුම් ලෙස සංවේදී දායක ස්ථානයන් උළුප්පමින් නීලමනී ගේ සමාජ අසාධාරණයේ ඛේදාන්තය නිරූපණය කරනු ලබන්නේ ය.
“ මේක කරුමක්කාර රස්සාවක් මහත්තය. කව්රුහරි හිතනවා ඇති හරි ලේසි දෙයක් කියල. තමුන් ජීවිතේට දැකලා නැති- කිසිම ආසාවක් පිරියක් හිතෙන්නේ නැති මිනිහෙක් එක්ක නිදාගන්න එක ගෑනියෙකුට මොනතරම් අමාරුද මහත්තයො…“
(පිටුව : 105)
උක්ත නීලමනීගේ ස්වයං පාපොච්ඡාරණය තුළින් විද්‍යාමාන වන්නේ සුවහසක් ලිංගික ශ්‍රමිකයින්ගේ ආදෝනාව නොවේ ද..? ඔවුන් එවැනි තත්වයකට ඇඳ වැටීමට මූලික හේතු සාධක විමසා බලන කළ අප වෙසෙන සමාජයම එයට වගකිව යුතු බව ඔබටම වටහා ගනු හැකිවෙනු නිසැක ය.
නීලමනී එලෙස සමාජයේ ගොදුරක් බවට පත්වන්නේ අමා වෙනුවෙනි. නමුත් ඇය එලෙස ගොදුරක් වූ කල්හී සමාජය අමා නම් යුවතිය වෙත දක්වන ආකල්පය සහමුලින්ම වෙනස් වන්නේය.
“ චතුරිකාගේ අම්මලු කිව්වේ ඔයාගේ අම්මා මහ නරක ගෑනියෙක් කියල. ඔයත් එහෙම ඇති කියල ඔයත් එක්ක කතා කරන්නවත් එපා කිව්වලු…“
(පිටුව : 75)
එලෙසින් ඇය සමාජය තුළ පාසල් දැරියට ඔබ්බෙන් ගියා වූ චරිතයක් ලෙස නිර්වචනය වීම ඇරඹෙන්නේය. පාසල් වියේ සිටිනා යුවතියකගේ මනසට එය කෙළෙස බලපාවී ද? අධ්‍යාපනයට ඇගේ මානසික සුවය ඉඩ දේවි ද? සමාජය තුළ හිස උස්සා ජීවත් වීඹට සමාජයීයක සත්ත්වයෝ ඇයට ඉඩ දේවි ද,? නැත. අප සිටින්නේ පහත් නිවට නියාළු අධාර්මිෂ්ඨ පාපකාරී සමාජයක් තුළ ය. ගොඳුරු සොයන්නෝ අපමණ ය. ගොඳුරු ලුහුබඳින්නෝ අපමණ ය. සියල්ලෝම අනෙකාගේ වරදින් අපමණ තෘප්තියක් ලබන්නෝ මෙන්ම අනෙකා පහතට හෙළා කතා කිරීමෙහි අප්‍රමාණ ප්රහර්ශයකින් උදම් ලබන්නෝ ය.
අධ්‍යාපනය අඩාල වන අමාට සිදුවන්නේ රැකියාවකට යොමු වීමටය. ඉක්බිති කාලයත් සමඟ මවද අසනීප වූ කල්හී ඇයද සමාජයේ තවත් එක් ගොදුරක් බවට පත්වන්නේ ය.
ගණිකා වෘත්තිය ලෙසින්ම ව්‍යාජ ලීලාවෙන් ලිංගික අල්ලස් හා සූරාකෑම් සිදුවීම මෙහිදී කතුවරිය අමා රණ්බණ්ඩාර චරිතය මඟින් ඉස්මතු කරයි. මවගේ රැකියාවෙන් පීඩාවට පත්වී මව විවේචනය කළා වූ දියණියම සමාජයේ තවත් බිල්ලක් බවට පත්වන්නේ මව රැක ගැනීමට ය.
හතරයි විනාඩි දා හතරට ඔහු නිදහස් විය.
මට එකවරම සැනසිල්ලක් ද ඉන්පසු හද පැළෙන්නට තරම් වේදනාවක් ද දැනෙන්නට විය.
මම අම්මා කළ දේම වෙනත් විදියකින් කර තිබුණෙමි.
අම්මා මා රැකීමට මුදල් සෙවීම සඳහා සිය ඇඟ විකිණුවාය.
මම ද ඇය රැකීමට මුදල් සෙවීම සඳහා මගේ කය බිලිදී සිටියෙමි.
මගේ සිත වියවුල් විය.
මගේ අම්මා හා මා අතර ඇති වෙනස කුමක්ද?
මම අම්මා කළ දෙයම වෙනත් විධියකින් කළා නොවේද?
(පිටුව : 185)
සමාජය නම් වූ සර්පයා වෙළෙන්නේ දුර්වල චරිත හමුවේ ය. සමාජයීය සර්පයෝ එවැනි දුර්වල අවස්ථාවන්හී අප්‍රමාණ වූ ප්‍රයෝජන අත් කරගන්නෝ ය. එහිදී ගැහැණිය ද සුවිශේෂී වන්නේ ය. කාන්තාව නම් වූ ගොඳුර පහසුවෙන් ඩැහැ ස්වකීය ලිංගික අපේක්ෂාවන් මුදුන් පමුණුවාලීමට උත්සහ කරනා එවැනි සමාජයීය සර්පයෝ අපමණ ය.
මා පෙර කී පරිදි වණ්ණ දාසී යනු ප්‍රබල යථාර්ථවාදී නිර්මාණයකි. එකී යථාර්ථවාදී නිර්මාණය සැකසීමේදී කතුවරිය භාවිතා කළා වූ සුවිශේෂී ශිල්ප ලක්ෂණයක් පාඨක සිත් ඇඳ බැඳ තබාගත්තා වූ බව මට නිසැකය.
කතාව ඇරඹෙන්නේ උද්වේගකර සිදුවීමකිනි. ඉන්පසු කතාවේ අර්ධයක් යන තුරුම අනුවේදනීය කතා පුවතක් ගෙනහැර දැක්වෙන අතර ඉන්පසු ක්ෂණිකව එය ධෛර්ය සහගත කතකගේ උත්සහයක කතාවකට යොමුව රෝමාන්තික ආදර කතාවකට පෙරළේ. ඉන්පසු ප්‍රබල දේශපාලනමය කථිකාවකට අවතීර්ණ වී කතාව නිමාව දකින්නේ ය. එහිදී කතුවරිය කතාවේ ගලායෑම හොඳින් නතුකොට සිදුවීම් මාලාවල හැඟීම් සීරුමාරු කොට ඇති ආකාරය විශිෂ්ඨ ය. පැසසිය යුතුම ය.
අමා රණ්බණ්ඩාර නම් කත හා සබැඳෙන ඉන්පසු විපරම දේශපාලනික මුහුණුවරකට ගෙන ඒමට කතුවරිය යොමුවේ. ඒ නැඟි එන වාමාංශිකයෙකු වන මාලන් කුමාරස්වාමී ජයසුන්දර යන චරිතය උපයෝගී කොටගෙනය.
කතාංගය මුලදීම අමාගේ ආත්මකථනය තුළ සිරිමල් නම් අමාගේ පියා හා වාමාංශික ව්‍යාපාරය පිළිබඳ කතිකාවතකට යොමු වේ. සිරිමල්ද වාමාංශික අදහස් දැරූ තැනැත්තෙකු වන අතර ඔහු මරණයට පත්වන්නේද ඒ නිසාවෙමිනි. එමෙන්ම අමාගේ චරිතය හා සැබැඳෙන තවත් චරිත කිහිපයක්ම මලගම් යන්නේද දේශපාලනික බලපෑම් මත ය.
තාත්තාගේ මළ ගෙදර ආපු කථිකයෝ කතා කළේ “ අපේ සිරිමල් සහෝදරයා පන්ති අරගලය වෙනුවෙන් සටන් කළ කෙනෙක් “ කියලයි. ලොකු මාමගේ අවසන් මොහොතේදී “ තිලක් ශාන්ත සහෝදරයා රටදැය වෙනුවෙන් සටන් කළා” කියලා කියැවුණා. කොහොම හරි ඔය දෙකේ වෙනසක් අමාට එදා තේරුණේ නෑ. පස්සේ තේරෙයි කියලා හිතුණා.
(පිටුව : 41)
උක්ත ලියැවීම නවකතාව තුළ මා දුටු ප්රබලතම ප්‍රකාශණයකි. සමාජ දේශපාලනික මුහුණුවර තුළ සිරිමල්ට ද ලොකු මාමාට ද තැන් දෙකක් ලබා දී ඇත. ගෞරවණීය තත්වයන් දෙකක් ලබා දී ඇත. නමුත් ඔවුන් දෙදෙනා සටන් වැදියේ කවුරුන් වෙනුවෙන් ද…? බෙදීම දේශපාලනික මතවාදය තුළ ය.
මාලන් කුමාරස්වාමී ජයසුන්දර යන චරිතය ගොඬනැඟෙන්නේ පරමාදර්ශී වාමාංශිකයෙකු ලෙස ය. මෙමඟින් දක්ෂීණාංශික දේශපාලන තන්ත්රය විවේචනයට ලක් කරනවා මෙන්ම නූතන වාමාංශික ව්‍යාපාරික ක්‍රියාකලාපයන් ද සියුම් ලෙස උපහාසයට ලක් කරනු ලබන බව මට හැඟේ.
නවකතාවේ පසු කොටස තුළ ප්‍රබල ලෙස විවේචනය කරන්නා වූ ලාංකික දේශපාලනයම කතාවේ මුල දී එළිදැක්වුණ අනුවේදනීය කතාවට සැහැසි ලෙස සම්බන්ධ වන්නේ ය. නූතන සමාජය තුළ ගොඬනැගුණා වූ එම දේශපානික ක්‍රියා පටිපාටිය හේතුකොටගෙන අසරණතාවයට පත් වූ වැන්දඹු කත ඉන්පසු ජීවන අරගලය ජය ගැනීම උදෙසා වෛශ්‍යා වෘත්තියට ඇඳ වැටුණ කළ ඇගේ දියණියද අධ්‍යාපණය අඩාලව මනසින් බිඳී ගිය කල මෙකී සියල්ලගේම මූල බීජය නවකතාවේ අවසානයේ විවරණය වන එම දේශපාලන ව්‍යාපාරය නොවේ ද? අවසානයේ අමා රණ්බණ්ඩාර පවතින නූතන විෂමචාරී සමාජ ක්‍රමයට අභියෝග කරන්නී ය.
“ මං මෙතන හිටගත්තේ මගේ අම්මාගේයි තාත්තාගේයි හීනේ හැබෑ කරන්න. මගේ තාත්තා වෘත්තීය සමිති අරගලේ වෙනුවෙන් ජීවිතේම කැප කරපු කෙනෙක්. මගේ අම්මා ලිංගික ශ්‍රමිකයෙක් . ඒ ගැන කියන්න මං ලැජ්ජා වෙන්නේ නෑ…”
(පිටුව : 305)
වණ්ණ දාසී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ඨ නිර්මාණයකි. ෆැන්ටසිය හඹා යන පාඨකත්වය මොහොතකට යථාර්ථය තුළ නවතා නිරුවත් කොට තමා දෙසම නැවත සිතා බැලීමට යොමු කරවන නිර්මාණයකි. මොහොකට සිතන්න. ලිංගිකව නොවුණද ඔබ ද මෙම සමාජය තුළ එක්තරා ශ්‍රමිකයෙකි. වහලෙකි.
වාරා
06/08/2018