Posted in වාරා පොත්, වාරාගේ හුස්ම

වාරා ලියපු පොත ….!!!

මේ ලියන්න යන්නේ වෙනදා වගේ විචාරයක් එහෙම නෙවෙයි. මාතෘකාව දැක්කම ටිකක් විතර පුදුම වුණා නේද? ඔව්… අද මං කියන්න යන්නේ අමුතු කතාවක්. අමුතු කිව්වට අමුතුමත් නෙවෙයි. පොඩි මාකටින් වැඩක්…!
මං පොතක් ලිව්වා….
පුදුම වෙන්න එපා. වාරා ලියපු පොත මේ වෙද්දී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් ගන්න පුළුවන්. Muses Publishers තමයි පොත ප්‍රකාශනය කළේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කුටි අංක J 306 kinkini crations ප්‍රදර්ශන කුටියට ගියොත් ඔයාලාට වාරා ලියපු පොත මේ දිනවල ගන්න පුළුවන් වේවි.
මං එහෙනම් පොත ගැන පොඩි හැදින්වීමක් කරන්නම්…
පොතේ නම විවර්ත මාරුත.
වෙනස්වෙන සුළග (Changing Winds) තමයි ඒකේ තේරුම. පහතින් දැක්වෙන්නේ ඒකේ පිට කවරය.

screenshot-32.png
මෙන්න මේ සැබැදිය හරහා ගිහින් ඔයාලාට පොතේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමේ හැකියාව තියෙනවා.
මෙතනින් බලන්න.

අපි හැමෝම රස්තියාදුකාරයෝ… අපි හැමෝම අපිටම ආවේණික රස්තියාදුවක යෙදිලයි ඉන්නේ. කොටින්ම කිව්වොත් අපේ මුළු ජීවිතයම රස්තියාදුවක්. මෙන්න මේ කියන රස්තියාදුව පදනම් කරගෙන මට හිතුණා පොතක් ලියන්න. අපේ ඇතුළේ ඉන්න අපි හංගන්න හදන රස්තියාදුකාරයාව එළියට ගන්න. ඒ රස්තියාදුකාර හිත නිරුවත් කරලා එළියට ගේන්න.
දසුන් ප්‍රතාපසිංහ නම් වූ චරිතය ගොඩනැගෙන්නේ ඒ අනුව.
බොහීමියානුවෙක්ට අපි වෙසෙන මේ ශ්‍රී ලාංකික සමාජය තුළ ඇත්ත වශයෙන්ම පැවැත්මක් තිබෙනවා කියලා ඔබ හිතනවා ද? බොහිමියානුවෙකුට ස්වකීය රස්තියාදුකාර ගවේෂණයේ දිගින් දිගටම නියැළීමට හැකියාවත් ලැබේවි යැයි ඔබ සිතනවා ද?
විමසලා බලන්න. ඔබ

IMAG0310

ත් මමත් ගොදුරු. මේ බාදුරා සමාජය අසළ කැරකෙන පුංචි කෘමියෝ තමයි අපි. මේ සමාජය වටේ කැරකෙමින් ඉදලා හාමතේ මිය යනවාට වඩා සැපක් නෙවේද ඒ බාදුරා පහස එකවරක් හෝ විදලා මිය යාම…? අන්න ඒ වගේ මොහොතක කෘමීන් බාදුරා මලට ගොදුරු වෙනවා. දැන දැන්ම බිලි වෙනවා.

අපේ සමාජය තුළ බොහිමියානුවෙකුට පැවැත්මක් නැතිනම් අපි කෙළෙසද ජීවත් වෙන්න ඕනි. පවතින සමාජ ක්‍රමයටම ගොදුරු වෙලා ද? විය හැකියි.
අපි හැමෝම ඇතුළේ මිනිස්සු වර්ග දෙකක් ජීවත් වෙනවා. එකක් සුදු චරිත. අනෙක කළු චරිත. බොහෝ විට සුදු චරිත හා කළු චරිත පහසුවෙන් වෙන් කර හදුනාගන්න පුළුවන්. නමුත් සුදු කළු සුසංයෝගයෙන් සැදි අළු පැහැති චරිතයක් කෙළෙස නම් වෙන් කර ගන්නද..? අපි හැමෝම අතර මේ අළු පාට මිනිස්සු ඉන්නවා. අන්න ඒ අළු පාට මිනිස්සු තමයි මේ සමාජය තුළ ජීවත් වෙන්නේ. ජීවත් වෙන්න දන්නේ…! ඔබ තුළත් ඇති අළුපාට මිනිහෙක්…! දෙන්න ඉඩ පිබිදෙන්න අළුපාට මිනිහාට. එතකොට උඹටත් මේ බාදුරා මල අස්සට වෙලා හිර වෙලා ඉන්න කෘමීන් අතරේ නිදහසේ බාදුරා සාරය උරා බොමින් ප්‍රීති වෙන කෘමියෙක් වෙන්න පුළුවන් වේවි…!
පහත දැක්වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජනක විජයකුලසූරිය මහතා පොත ගැන දැක්වූ අදහසක්.screenshot-85.png

කියවලා බලන්න විවර්ත මාරුත…
හැබැයි කියවලා විතරක්ම මදි…! වාරාට ඒ ගැන අදහස් කියයි කියලා වාරා බලාපොරොත්තු වෙනවා…!!

වාරා

IMAG0311

Posted in වාරාගේ හුස්ම

දැන්වීමයි…..!!!

h000492

සැබෑ මිනිසෙකු ඕනෑකර තිබේ…!

     කිසිඳු පදනමකින් තොරව, කිසිඳු අවබෝධයකින් තොරව, සංස්කෘතිකමය ඉන්ඳ්‍රජාලික සීමාවක් තුළ සිරවී සිටිනා මිනිසුන් අතර එකී සීමා තුළ ආත්මය සිරකරනොගත් පුද්ගලයෙකු ඕනෑ කර තිබේ.
            එවැන්නන් නොමැත්තේම නොවේ. නමුත් එවන් පුද්ගලයින් සොයාගැනීම උගහටය. මන්දයත් එවැන්නන් ඉතා විරල හෙයින් ය. මේ දැන්වීම පළවන්නේ එබැවිනි. ඇතැම් විට ඔබ තුළද එවැන්නෙක් රැඳී සිටිනවා විය හැකි ය. නමුත් එය ඔබ නොදන්නවා විය හැකි ය. ඔබ තුළම සැඟවී සිටිනා එම දුර්ලභ අද්භූත ආත්මය ඔබ හඳුනාගත යුතු ය. මන්දයත් සමාජයට සැබෑ මිනිසෙකු ඕනෑකර තිබෙන හෙයිනි…!
    සංස්කෘතියේ පවුරු බිඳ සංස්කෘතියට අභියෝග කරනා ඊනියා රැඩිකල්වාදීන් මෙහිදී ප්‍රතික්ෂේප කරනා බව කාරුණිකව දන්වා සිටින්නෙමු. මන්දයත් උන් සංස්කෘතිය බිඳ හෙළනුයේ ස්වකීය ආත්මාර්ථකාමී ගමනට සංස්කෘතියෙන් අමු අමුවේ සිඳු කරනාවූ බාධාවන්ට එරහිව මිසක හු‍ඳ‍ෙක් එම සංස්කෘතික බාධකය කෘතහස්ත සමාජයට කෙසේ බලපෑම් කරයිදෝ යන පරාර්ථකාමී මානසිකත්වයෙන් නොවනා බැවිනි. එවැනි ඊනීයා රැඩිකල්වාදියෙකු සැබෑ මිනිසාගේ තනතුරට නොවටින්නේ ය.
         නමුත් ඔබ නියමාකාර රැඩිකල්වාදියෙකු වීම ගැටළුවක් නොවේ. සමාජයේ විශමාචාරයන් වසාලීමට භාවිතා වන්නාවූ සංස්කෘතික පවුරු ඔබ බිඳ දමන්නේ නම් තවදුරටත් එම පවුරට යටවූ බියඟුල්ලෙකු නොවී පරාර්ථකාමී රැඩිකල්වාදියෙකු වේනම් අප සොයනා පුද්ගලයා ඔබ විය හැකි ය.
            ඔබ අනෙකාගේ මතය අප්‍රිය කරන්නා වූ සෑම විටම සෑම කරුණකම වැරැද්දක් සොයන්නා වූ ද දකින්නා වූ ද ඊනියා බුද්ධිමතෙකු නම් මෙහිලා ඔබ ප්‍රතික්ෂේප කරනා බව සැළකිය යුතු ය. මන්දයත් නුඹේ වැරැද්දක් යමෙකු පෙන්වා දුන් කල්හී එය පිළිනොගන්නා ඔබේ මතය නිවැරැදිම යැයි සිතා තර්ක කරනා තමන් බහුශ්‍රැතයෙකු යැයි සිතා සමාජ පිල්ලියක් බවට පත්ව සිටිනා වූ බැවිනි. එහෙව් ඔබගෙන් කිසිවෙකුටත් සෙතක් අත් නොවෙනා අතර ඔබ සමාජය විසින් පිළිකුළෙන් යුතුව ප්‍රතික්ෂේප කරන්නා වූ සමාජයීමය පිළිලයක්ම වන බැවිනි.
    නූතන දේශපාලනික බූවල්ලාගේ අඬු වලට සිරවූ සමාජයීය මතස්‍යයකු නොවේ නම්, ඔබ අප සොයනා පුද්ගලයා විය හැකි ය. නමුත් එකී බූවැලි අඬු තුළ සිරවී අඬා වැළපී තව තවත් එකී අඬු වලම සිරවෙන්නා වූ හෝ එකී අඬුහී කඨෝර බාවය විවේචනය කරමින්ම තවත් එහිම සිරවෙන්නා වූ වාචාලයෝ හෝ අඬු වල කඨෝරබව වෙත ව්‍යාජමය සුන්දරත්වයක් ආරෝපණය කොට එකී අඬු වෙත තව තවත් මතස්‍යයින් ගෙන්වා ගන්නා මතස්‍ය කුළේම ධීනයෝ ද අප විසින් ප්‍රතික්ෂේප කරන්නෙමු. එවැන්නන් හට මෙකී භූමිකාවට ප්‍රවිශ්ඨ වීම සිදු කළ නොහැක්කකි.
   නමුත් උක්ත දේශපාලනික බූවල්ලාගේ අඬු තුළ සිර නොවූවෝ හෝ එකී අඬු වල සිරවී ඉන් ගැලවී යාමට සටන් කරන්නා වූ නිර්භීත මතස්‍යයින් අප විසින් මෙකී භූමිකාවට වඩාත් සුදුසු යැයි තීරණය කරන්නෙමු. නමුදු හුදු පටු අරමුණක වෙළී ස්වකීය ආත්මය පාවා දෙමින් මෙම බූවල්ලා මරාදමා වෙනත් බූවල්ලෙකු රජ කරවීමට තැත් දරන්නා වූ මුග්ධ පුද්ගලයින් මෙහිලා ප්‍රතික්ෂේප කරන බව අවධාරණය කරන්නෙමු. සැබෑ මිනිසෙකු උදෙසා ඔබ බූවලුගැත්තෙක් නොවී බූවලු පිටුදකින්නෙකුද නොවී යහපත් බූවලු ක්‍රියාකලාපයක් උදෙසා කටයුතු කරන්නෙකු විය යුතු ය.
    ඉතා අලංකෘත සාහිත්‍යය නිර්මාණවලියක රසිකයෙක් වූ පමණින් ඔබ සුදුස්සෙකු යැයි නොපවසන්නෙමු. සාහිත්‍යය රසිකයෙකු යැයි ලොවට කියා පානා ඊනියා විචාරකයින් අතර ඔබත් අත මිට උදෙසා සාහිත්‍යය විචාර විකුණනා වෙළෙන්දෙකු වේ නම් ඔබ මේ උදෙසා නොගැළපෙන්නේය. ඔබේ සාහිත්‍යමය අලංකාරය නිර්මාණය වන්නේ යම් කිසි පටු අරමුණක් සාක්ෂාත් කරවාගැනීම උදෙසා හෝ යමෙකුගේ පෞද්ගලික අභිලාෂයන් මුඳුන් පමුණුවා දී ඒ වෙනුවට ඔබේ සුඛ විවරණයන් අපේක්ෂාවෙන්නම් ඔබ නුසුදුස්සෙකි. හුදෙක් ඔබ කිසිඳු සාහිත්‍ය අවබෝධයකින් තොරව පොරත්ව මානසිකත්වයෙන් අන්‍ය සාහිත්‍යධරයින් තලා පෙළන්නෙක්නම් ඔබවද මේ තනතුර උදෙසා නොගැළපෙන්නේ ය. කොටින්ම ඔබ සාහිත්‍ය යැයි හඳුන්වන්නේ සාහිත්‍ය නොවේ නම් ඔබ කිසිසේත්ම මේ උදෙසා නොගැළපෙන්නේ ය.
    ජාවාරම්කාර විචාරශීලිත්වයෙන් ගැලවී දැනුමෙන් සුපෝෂිත නියමාකාර සාහිත්‍ය විචාරකයෙකු වී අතීත, නූතන කළා සන්ධර්භයන්හී ඇති දැක්මන් නිවැරදිව උපුටා ඒ එකක අන්තගාමියෙකු නොවී හුදෙක් කලාව ස්වකීය අරමුණු උදෙසා යොදා ගන්නා භෞතිකවාදීන්ට යටත් නොවූ නිහතමානී සාහිත්‍යධරයෙකු නම් ඔබ මෙම තනතුර උදෙසා ඉහළින්ම සුඳුසුකම් සපුරන්නේ ය.
   

       “උක්ත සඳහන්ව ඇත්තේ අප විසින් සොයනා ඔබ තුළ තිබිය යුතු යැයි විශ්වාස කරනා නිර්ණායකයන් කිහිපයක් පමණි. උක්ත තනතුර උදෙසා නිර්ණායකයන් යනු මහා සාගරයක් නම් මෙහිලා ඇත්තේ ඉන් දිය දෝතකටත් අවම ප්‍රමාණයේ නිර්ණායකයන් සංඛ්‍යාවකි.
   නමුදු උක්ත සඳහන් නිර්ණායකයන්ගෙන් හෝ අල්පප්‍රමාණයක් ඔබ සතුව වේ නම් වහා ඔබට මෙම තනතුර උදෙසා ඉල්ලුම් කළ හැකි ය. කිසිවෙකු තැනූ පවුරු තුළ සිර නොවූ වහළෙකු නොවේනම් ඔබ අප සොයනා පුද්ගලයාම වන්නේය. එබැවින් වහාම ඔබේ විඥානය විවර කරගන්න. විඥාන මාවත දිගේ හෙමින් පියමනින්න. යදම්ලා ඔබ සිරකරනු ඇත , රුඳුරු උල් කටු , ගල් ඇනී ඔබ තුවාල ලබනු ඇත. වේදනාව ඔබේ ලේ නහර හරහා ගලනු ඇත. වේදනාව ඔබේ ආධ්‍යාත්මය වෙළාගනු ඇත. නමුත් ඔබ සුඛාන්තයක අග්‍රස්ථානයට පිවිසෙණු ඇත. එහිදී ඔබට අප හමුවෙනු ඇත. අප ඔබ එනතුරු බලා සිටින්නෙමු…! ”

©ASD 
18/05/2018

 

Posted in නාඳුනන්නෙකුගේ දිනපොත

නාඳුනන්නෙකුගේ දිනපොත #8

දිනපොතේ පෙර පිටුවට ⇒ සැප්තැම්බර් 18 අඟහරුවාදා

සැප්තැම්බර් 20 – බ්‍රහස්පතින්දා

 

             “ උඹ මහා කාලකණ්නි රස්තියාදුකාරයෙක්…! ”

අප්පච්චිගේ ගෝරණාඩුව රේඩියෝවේ හැමදාම උදේට ඇහෙන පිරිත් රෙකෝඩ් එක වගේ. අනිවාර්යෙන්ම විකාශය වෙනවා. ඒ නිසාම ඒක මට හුදු සාමාන්‍යයීකරණය වෙලා යි තිබුණේ. නමුත් අද ඒ වචන කිහිපය අප්පච්චිගේ මුවින් නික්මුන ක්ෂණිකයෙහි මගේ හදවතටම කිඳා බැස්සා.
“ රස්තියාදුකාරයෙක්…! ”
ඒ වචනය මගේ සවන්පත් සිසාරා රාව ප්‍රතිරාව දෙමින් තිබුණා. මම රස්තියාදුකාරයෙක් තමයි. ඒ නිසා මට හැමදාමත් රස්තියාදුකාරයා කියන වචනේ අහන්න ලැබෙනවා. නමුත් කළු රෝස මල එදා ප්‍රකෝප සහගතව මට රස්තියාදුකාරයා කියලා කිව්ව මොහොතේ පටන් මට මං ගැනම ඇතිවෙමින් තිබුණේ අසරණ හැඟීමක්. ඇත්තටම රස්තියාදුකාරයෝ මෙතරම් පහත්ද…?

   සමාජයට නිර්වචයක් එකතු වෙලා තියෙනවා. රස්තියාදුකාරයා යනු සල්ලාලයෙක්, බේබද්දෙක්, කුඩ්ඩෙක්, කිසි අණක් ගුණක් නැති අපතයෙක්. ඇත්ත… මේ සම්මතය පුංචි කාලේ ඉදන් අපේ ඔළුවට ඔබ්බවලායි තියෙන්නේ. සරුසාරේට පොළෝ අභ්‍යන්තරයට මුල් ලියවුණු රූස්ස ගසක් උගුළුවා දමන්නට අපහසු සේම මෙම සම්මතයත් අපේ චිත්තාභ්‍යාන්තරයෙහි මුල් බැසගෙනයි තිබෙන්නේ. ඉතින් රැවුල කොණ්ඩේ වවාගත්ත බෝක්කුවක්, තාප්පයක්, ටියුෂන් කඩයක්, බස් නැවතුමක් ගානේ සිටිනා තරුණයෝ දකින කල අපේ ඔළුවට නිතැනින්නම ‘මූ නම් රස්තියාදුකාරයෙක්‘ යන හැඟීම ඇතිවෙනවා. ඒක සාමාන්‍ය මානුෂීය ස්වභාවයක්.

  රස්තියාදුව යන්න සිංහලයට බිඳී එන්නේ පෘතුග්‍රීසී ‘Rastreador‘ යන්නෙන් යැයි කියවෙනවා මං අහලා තියෙනවා. ඒකේ තේරුම පසුපසින් හබා එන්නා නැතහොත් ලුහුබදින්නා ලු. යමෙක් යමක් පසුපස හබා යනවා නම් ඒකට රස්තියාදුවක් කියන්න පුළුවන්. එතකොට මේ කොණ්ඩ රැවුල් සංකල්පයක් රස්තියාදුවට එකතු වුණේ ඇයි? රස්තෆාරී සංස්කෘතියේ සංකල්පයට මං හරිම කැමතියි. ඒක හරිම නිදහස් සංකල්පයක්. බොබ් මාලේ පවා රස්තෆාරී දර්ශනය ඇදහූවෙක්. අප්‍රිකානු මේ රස්තෆාරී දර්ශනයේ මිනිස්සු බාහිර පෙනුමත් උන්ගේ නිවහල් චින්තනයත් ‘‘ වෛරයට ආදරය කරන්න  යන ආකල්පයත් තිබුණු අය. අන්න ඒ උප සංස්කෘතිමය ලක්ෂණය අපේ ඇගෙත් තියෙනවා. රස්තෆාරී අපේ භාෂාවලියට එක්වෙද්දී රස්තා වෙනවා. පසුව එය රස්තියාදුව වෙනවා. රස්තියාදුකාරයා කියන සංස්කෘතිමය පිළුණු චරිතය නිර්මාණය වන්නේ ඒ අනුවත් විය හැකියි.
කෙසේ හෝ වේවා මම හබායන්නෙක් නොවෙමි.
මම රස්තෆාරිය අනුව නිදහස් නිවහල් සටන්කාමී චින්තකයෙකුද නොවෙමි.
       මම නිකම්ම නිකම් නිකමෙක්ය…!
එහෙව් මට රස්තියාදුකාරයා යැයි ඇමතීම ම මාව අගය කිරීමක් නොවේ ද…?
ඇත්තටම මම ආඩම්බර වෙන්න ඕනි.
ඒත් මට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන්ද..? කළු රෝස මල මට ඉතුරු කරලා ගිය ප්‍රශ්නය එයයි.
ඇත්තටම පුදුමයි… මෙතෙක් කලක් අම්මා කිව්වා. තාත්තා කිව්වා. බාහිර සමාජයීයක ප්‍රත්‍යනීකයෝ මට චෝදනා කළා. සමාජයීය සිල්වත්තු අනුශාෂනා කළා. නමුත් ඒ කිසිවකින් විවර නොවූ මගේ මානසික චින්තනය හඳ බැඳගත් එක් යුවතියකගේ කෝපාවිෂ්ඨ වූ එකම එක වචනයකට කළ හැකි වූ අපූරුව. ඇත්තටම පුදුමයි…!
පිරිමි හිත කිසිදා වර්ණ ගලපා නිම කළ නොහැකි සිතුවමක්…! එක් මොහොතක මේ වර්ණය මෙතැනට ගැලපේ යැයි නීර්ණය කළද ඉන් පසු එළැඹෙන මොහොතකදී එකී වර්ණය එතැනට නොගැලපෙනු ඇත. වෙනත් තැනකට අලංකෘත වෙනු ඇත. එය අද්භූත සිත්තමක් වන්නේ එබැවිනි.
ඇය වැනි ලදක වෙනුවෙන් මගේ හදවත අසීමිත ආලයකින් විවරව තිබෙන කල්හී මගේ හදවතේ සම්පූර්ණ චින්තනයෙහිම හිමිකාරිණිය ඇය බවට මා පත් කරන්නේ නිතැනිනි. එය හුදෙක් මාගේ වරදක් නොවේ. පෙර කියූ කිසිදා නිම කළ නොහැකි සිත්තමේ ස්වභාවය එය වේ. එබැවින් මෙතෙක් කලක් අන් යමෙකු විසින් මට අවධාරණය කිරීමට තැත් කෙරූ යමක් වේ ද මවිසින් එය අතුගා දැමුවා වුව ද එකී අවධාරණාත්මක කරුණම ඇය වෙතින් නික්මුණි නම් මා ඇයටම අවනතව ඇගේ දෝෂාරෝපණය බාර ගන්නේ ය. එය සළකා බලනු ලබන්නේ ය.

              එය පිරිමි සිතක නොමනා ලක්ෂණයක් විය හැකිය. නමුත් රෝමාන්තික නොවේ යැයි සම්මත රළු සිතකට රෝමාන්තික හැඟීමක් අවුළුවාලූ තැනැත්තියක් වෙත් ද ඇය දේවත්වයෙහිලා පිදිය යුත්තේ යැයි පිරිමි සිත ගිවිසේ. එහි වරද පිරිමියාගේ චින්තනයේම විය හැකිද? නැතහොත් පිරිමි සිත් වලට සිතුම් ඇති කළා වූ සංස්කෘතික ආකල්පයන්ගේම විය හැකිද? එසේත් නැතහොත් ජීව විද්‍යාත්මක රසායනික ක්‍රියාවලියක විය හැකිද? නොසොයන්න. පිරිමි සිත් සංකීර්ණය. ගැඹුරු මුහුදේ වූ තෙරක් නොපෙනෙන ආගාධයක් වැනිය. පතුල සොයා යන්නවුන් ගිලී මිය යන සුළුය.

මා මේ සටහන ලියන මොහොත වන විට මගේ හිස යකාගේ කම්මල මෙන් ඇවිලී තිබෙන්නේ ය. විවිධාකාර වූ සිතුවිලි හස්ති රාජයෙකු මෙන් කුංඡනාද කරමින් මාගේ හිසාභ්‍යන්තරයේ සරන්නේය.
මා තීරණයක් ගත යුතුය.
ඔව්…. මම තීරණයක් ගත්තෙමි.
තව දුරටත් නිකමෙකු ලෙස සිටිය යුතු නැත.
එසේ යැයි කියා නූතන සමාජ සම්මතයන්හී වහල්ලෙකු විය යුතුද නැත.
මම රස්තියාදුකාරයෙකු වෙමි.
සීමාවෙන් ඔබ්බට ගිය රස්තියාදුකාරයෙකු වෙමි.
ඇය මා සිතුම් ඡේදනය කොට මා එක්තරා මානයකට ගෙන ආවාය. වෛරී සහගත සිතුවිලි ඇය උදෙසා මගේ සිතේ නැඟුණද? ආලය ඇය වෙනුවෙන් යටපත්වී තිබුණද? මම ඇයට ස්තූතිවන්ත වෙමි.

“ ඔයාට ගොඩක් ස්තූතියි කළු රෝස මලේ……!”

©වාරා
09/08/2018

(රූප අයිතිය මුල් හිමිකරු සතු ය. උපුටාගැනීමක් පමණි.)

  දිනපොතේ ඊළඟ පිටුවට ⇒ සැප්තැම්බර් 24 – සඳුදා