Posted in Uncategorized

හිට්ලරාගමනය

මේ කියන්න යන්නේ හිට්ලර්ගේ ලංකාගමනය පිළිබඳවය. මේ හිට්ලර් ඒ හිට්ලර්මය. වෙනසක් නැත්තේම ය. ඇලොයිස් හිට්ලර් හා ක්ලේරා පෝල්සල් ගේ දරුවා ය. නාසිවාදය ලොව පතුරවපු ඒ ඒකාධිපතියා ය. ජර්මනිය අල්ලා ලෝකයම හොල්ලා දැමූ ඒ සටන් කාමීයාමය. යුදෙව්වෝ දහස් ගණනින් මරා දැමූ කෘර පාලකයාය. ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයේ නායකයා ය. ඊවා බ්‍රෝන්ගේ පෙම්වතා ය. කාලය හරහා ගොස් ඩෙඩ්පූල්ටද මැරිය නොහැකි වූ ඒ කුඩා කොළු ගැටයාය. චාලි චැප්ලින් අනුකරණය කර පෙන්වූ ඒ පුද්ගලයාමය. ඔව්.. මේ හිට්ලර් ඒ හිට්ලර්මය.
මා නිදා සිටිනා කාමරයේ එකවරම හෙණ ගැහුවා සේ අසීමාන්තික එළියක් නිකුත් වුණි. අති මහත් බියට පත්වූ මා හිඳ සිටි පුටුවද පෙරළාගෙන බිම ඇඳ වැටුණ අතර මගේ සිතේ මගේ බෝඩිම් සඟයාට සහ ඔහුගේ මවට ශාපයක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. මන්දයත් අදත් ඒ බූරු පිංගුත්තරයා ප්‍රෙෂර් කුකර් එක පුපුරවාගත්තා යැයි මම සිතූ බැවිනි. පසුගිය වර ප්‍රෙෂර් කුකර් එක පුපුරා යාමෙන් මා හා ඌ සතියක් රෝහලේ ඇඳට වී සිටි හැටි මට හොඳට මතකය.
ඒත් ඌද මා මෙන්ම බිම ඇඳ වැටී සිටිනු දැකීමෙන් මම මොහොතකට පස්වනක් ප්‍රීතියෙන් උදම් වූවද ඊට පසු මොන ඉටි ලබ්බක්ද උනේ යැයි තේරුම් ගත නොහැකිව තුෂ්ණිම්භූතව “ ජොබා ” බලා සිටින දිශාවට නෙත් යොමු කළෙමි. සමාවෙන්න… ජොබා යනු මගේ බෝඩිම් සඟයාය. නැතහොත් පෙර සඳහන් කළ බූරු පිංගුත්තරයාය.
මම උඩ ගියෙමි.
අප ඉස්සරහා එකෙකු සිටගෙන සිටියේ ය.

“ අප්පට සිරි චාලි චැප්ලීන්….! ” ජොබා සතුටින් කෑ ගැසුවේ ය. මින් පෙරද ජොබා ඒ ආකාරයටම කෑ ගැසූ අවස්ථාවක් මට මතක තිබුණි. ඒ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වුණ මොහොතේ ය. ජොබා යනු සුපිරි බයියෙකි.

“ නෑ යකෝ… මං හිට්ලර්….” අප ඉස්සරහා හිටගෙන හිටපු එකා ගෝරණාඩු කළේ ය. “ ඒ යකා මාව ජෝකර් එකෙක් කොරානේ… මං ඉන්නේ ඕකව අහුවෙණකම්.. වහනවා ගෑස් කාමරේක දාලා… ගෑස් කාමරේක…”

චාලි චැප්ලින් වේවා හිට්ලර් වේවා මළ පෙරේතයෙක් අපේ කාමරයේ හිටගෙන සිටින බව දැක ගැනීමෙන් බියවූ මා ගැහෙන්නට වූ අතර වම් කකුළ දිගේ උණු දිහ පහරක පහසක්ද දැනෙමින් තිබුණි. වැස්සකටවත් පන්සල් නොයන ජොබා ඉතිපිසෝ ගාථාව මුමුණනු මට යාන්තමට මෙන් ඇසෙමින් තිබුණු අතර මල පෙරේතයාගේ මුහුණේ වූ සැර බැල්මෙන් බියපත් වූ මා දොහොත් මුදුන් දී වන්දනාමාන කරමින් ඌ ඉස්සරහා ඇඳ වැටුණේ ය.

“ අනේ අපිට අනුකම්පා කරන්න හිට්ලර් තුමනි…. අර්ජුන ඇලෝසියස් පල්ලා අපිනම් කිසිම වරදක් කොරලා නෑ… කොටින්ම වංචාව කියන වචනේ අහලාවත් නෑ….”

“ මොන ලබ්බකටද මිනිහෝ දන ගහන්නේ… නැගිටපිය… මගෙන් උඹලාට අනතුරක් නෑ…” හිට්ලර් නහය ඉව කරමින් කීවේ ය. “ චූ ගදක් එනවනේ… උඹලා මේ කාමරේ හෝදන්නේ නැද්ද…?”

“ හිට්ලර් ඔයා මැරුණනේ…?” හිට්ලර්ගේ චූ කතාව මගාරිමින් මං විමසා සිටියේ ය.

“ ඔව් යකුනේ… මැරුණා තමයි…” හිට්ලර් කිරිපාට දත් පෙන්වා සිනාසුණේ ය. හිට්ලර් රෑටත් දත් මදිනවා විය යුතු යැයි මම සිතා ගත්තෙමි.

“ මැරුණානම් ඔය ඉන්නේ යස අගේට…” ඒ වන විට සියළු බිය පහව තිබුණ බැවින් සුපුරුදු ලෙස ඇද උඩට නැඟ එරමිණිය ගොතාගෙන දුමක් අදිනා අතරවාරයේ ජොබා විමසී ය.

“ යමයා මට පොඩි ටුවර් එකක් දුන්නා… මං මේ ඒක යන ගමන්…”

යමයා යනුවෙන් හිට්ලර් අදහස් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරන එකෙක් යැයි සිතූ මම       “ දැන් ඒ ලෝකෙටත් වීසා දෙනවද ?” යැයි විමසා සිටියෙමි. හිට්ලර් පගාව දුන්නා විය යුතුය. මට සිහින් සිනාවක් නැගුණි.

“ මිනිහෝ… යමයා කිව්වේ යම රජාට.. ලුසිෆර් ලුසිෆර්… අන්න ඒකා…” සිට්ලර් එසේ කියා ජොබාගේ ඇ‍‍‍දේ පැත්තකින් ඉදගෙන ජොබා දෙස බැලුවේ ය. “ මොනවද යකෝ ඔය කරන්නේ… හරියට මං යුදෙව්වොන්ට ගෑස් පොම්ප කරා වගේ…”

“ මේ තණමල්විල සාරවත් වතු යායවල් වලින් නෙලාගත් නැවුම් ගංජා ටිකක්…” යැයි පැවසූ ජොබා හිට්ලර්ට එය දිගු කළේ ය. “ ගහපං ටිකක්… ආය කෙනඩි තුඩුවෙන් යැවුව රොකට් එකක ඉදගත්තා වගේ…”

හිට්ලර් මද වේලාවක් නිහඬව සිටියේ ය. සමහර විට හිට්ලර්ට යුදෙව්වන්ට රුසියානුවන්ට ගෑස් ගැසූ ආකාරය මතක් වී උනුත් ජර්මනියෙන් රොකට් ගත වූවා දැයි සිතනවා විය යුතුය.

“ හිට්ලර් සිරාවට යම ලෝකෙන් කොහොමද මේ ලෝකෙට ආවේ…? ”

“ යමයා වී.අයි.පී ඩෑල්ස් වලට කාලෙන් කාලේට පොඩි ටුවර්ස් ටිකක් දෙනවා…” හිට්ලර් කීවේ ය. ඒ මොකදැයි මා විමසූ විට තමා ඒ ගැන නොදන්නවා යැයි අඟවමින් ඔහු උරහිස් ඇකිළුවේ ය. “ මට මොකද ඕයි… වද විදලා ඇතිවෙලා නිවාඩුවක් ලැබුණ එකේ මං ආවා…”

“ යකෝ යම ලෝකෙත් වැකේෂන් තියෙනවා… ” ලාංකේය සරසවි සිසුවෙක් වූ මගේ මුවින් පිටවුණේ ය. ජොබා අනුකම්පා සහගතව හිටි තැනින් නැඟිට විත් මගේ පිටට තට්ටු කළේ ය.

“ මං ආසයි මේ රට පොඩ්ඩක් බලන්න… යමු ද රවුමක්…”

හිට්ලර් එක්ක එකට පාරේ බැස යාමට අවස්ථාවක් සක්‍රයාට තියා උගේ පුතා වයිමාටත් ලැබෙන්නේ නැති හෙයින් මම එකපයින් එයට එකඟ වී කකුල් දෙකෙන් ගමනට අවතීර්ණ වීමි. හැමදේටම මා පසුපස වැටෙන ජොබාද පාවෙමින් අප පසුපස වැටුණේ ය.
කාමරයෙන් එළියට බට හිට්ලර් විස්මයෙන් වටපිටව නිරීක්ෂණය කරන අයුරු දුටු මා ඒ ඇයි දැයි විමසා සිටියේ ය.

“ මං මේ කල්පනා කළේ මං ඉන්නේ මගේ ගෑස් කාමරයක් අස්සේද කියලා…” ඔහු නැවත වරක් වාතය ඉව කළේ ය.

“ ආ.. නෑ … නෑ… හිට්ලර්… මේ කොළඹ” මං ඔහුගේ අස්ථානගත බිය පහ කරමින් පැවසුවෙමි. “ මේකේ ක්ෂණික මරණය ගේන වායු නෑ… සල්ෆර් ඩයොක්සයිඩ් චුට්ටකුත් කාබන් මොනොක්සයිඩ් වැඩියෙනුත් දාලා හැදුණ මිශ්‍රණයක් තමා තියෙනවා…”

“ යකෝ… ඒ අතින් මගේ ගෑස් කාමර සානුකම්පිතයිනේ කොල්ලෝ….ඒකේදී එකපාර මරණවා…. මේකේදී මරන්නේ ටික ටික.. ඇගට පතට නොදැනෙන්න…” යැයි පැවසූ හිට්ලර් කබා සාක්කුවෙන් ගත් ස්කාෆ් එකකින් නාසය බැද ගත්තේ ය. පිට කොටුවේ පේමන්ට් එකේ තියෙන හුරු පුරුදු බොබ් මාලේ රුව එහි වූ අතර මා එදෙස විමසිල්ලෙන් බලද්දී හිට්ලර් මගේ සැකේ දුරු කළේ ය. “ ආ… මං මේක ඉල්ලගත්තේ මෙහෙන් එහෙට ගිය වාමාංශික ඩෑල් එකකින්… අපරාදේ කියන්න බෑ මිනිහා සමාජවාදෙයි මාක්ස්වාදෙයි ගැන ඇරෙන්න ලෙනින් ගැන හැමදේම දන්නවා…”

අප පදික වේදිකාව ඔස්සේ ඉදිරියට පිය මැන්නෙමු.

“ කව්ද බං ඒ අඩනවා ඇහෙන්නේ…! හරියට අර්ශස් අමාරුව හැදිලා වගේ…?” හිට්ලර් එසේ විමසූ හෙයින් මමද ඒ හඬ ආ දිශාවට හැරුණෙමි. නයි කයිද රෝස් පාන් කිව්වලු. මේ අපේ සමිත් සිරිමාන්න අයියා නේ..! සමිත් සිරිමාන්න අයියා පාරේ පැදුරක් එලාන ගිටාරය වයමින් ගීත කියමින් සිටි අතර ඔහු වටකරගත් කොල්ලෝ කුරුට්ටෝ රෑනක් නාහෙන් හොටු පෙරමින් අඬමින් සිටියෝ ය.

“ ආ මේ ඉන්නේ සමාජ සේවකයෙක්…!” ජොබා දුම්පාරක් පිට කරමින් කියන්නට වීය. “ ලංකාව පුරාම ඉන්න ඇටිකිති කොල්ලෝ කුරුට්ටෝ බූට් කාපුවාම සනසන්නේ මෙයාලා වගේ අය තමයි… දැන්නම් පදුරක් පදුරක් ගානේ මෙයාලා වැහි වැහැලා… හිට්ලර්ටත් ඕනිනම් සිංදුවක් අහමු…”

මම හිට්ලර්ට ඇහෙන ලෙස සිංදුවක් ගයනා ලෙස සමිත් සිරිමාන්නට ආරාධනා කළ අතර ඔහු ගයන්නට වීය. ගීතය අවසන් වූ විට මම හිට්ලර් දෙස බැලූ අතර හිට්ලර් දොහොත් මුදුන් දී වැදගෙන සිටිනු දැකීමෙන් මම විමතියට පත්වීමි.

“ හිට්ලර් ඒක බැති ගීයක් නෙවෙයි… බූට් ගීයක්…” ජොබා පැහැදිලි කරදුන් පසු හිට්ලර් අත පහළට දැම්මේ ය.

“ අප්පට සිරි එහෙමද…? ” සිදුවූ වස කිණ්ඩිය වසාගනු වස් හිට්ලර් සාක්කුවට අතදමා ගත් මුදල් කිහිපයක් ගායකයා අත තැබීය. ඉන්පසු එතැනින් ආ බස් රථයකට අතදමා අප තිදෙන එයට ගොඩවුණෙමු. හිට්ලර්ට බස් අත්දැකීම දීම මගේ අභිප්‍රාය විය.
බසයෙන් බැසගත් මොහොතේම හිට්ලර් අසල වූ බෝක්කු කණුවක් උඩ ඉදගත්තේ ඔළුවේ අතගසාගනිමිනි. හිට්ලර්ට අසනීපයක් යැයි සිතා කලබල වූ ජොබා හා මම  වහා ඒ පිළිබඳව විමසා සිටින කල්හී ඇඩූ කඳුලින් යුතුව හිට්ලර් පිළිතුරු දුන්නේ ය.

“ මං හිතාන හිටියේ මගේ ගෑස් කාමර තමයි සුපිරිතම වධකාගාර කියලා… ” යැයි පැවසූ ඔහු ඉකිබිදින්නට වීය. “ මං වැරදියි… ගෑස් කාමරේකට වඩා බයානකයි උඹලාගේ ප්‍රයිවට් බස් එකක්… ගෑස් වලින් නෙවෙයි උඹලා මිනිස්සු මරන්නේ සංගීතෙන්…”

අප නැඟි මොහොතේ පටන් මහ හයියෙන් විකාශය වූ ඇටෑක් ෂෝ එකේ ගීතාවලිය හිට්ලර්ට මහත් පීඩාවක් ගෙන දී ඇති බව වටහාගත් මම හිසේ තෝන්තුවාව යාමට පැනඩෝල් පෙති දෙකක් පානය කිරීමට දුන්නෙමි. එසේ වුවද මා අපේ සංගීතය පිළිබඳව ආඩම්බර වීමට සිතා ගත්තෙමි. ලෝකයේ දරුණුතම පාලකයාද ඇඩවීමට සමත් වූ සංගීතයක් අපට තිබීම ආඩම්බරයක් නොවේ ද..? මද වේලාවකට පසු හිට්ලර් සහනයක් ලැබූ බවක් පෙනුන හෙයින් අපි නැවතත් ගමනට වැටුණෙමු.
“ අර මොකද බං අර…?”

සැ.යු – හිට්ලර්ගේ කතාව හෙන දිගට ලියවුණේ ය. එනිසා තවත් කොටසකට කඩන්නට සිදු වන්නේ ය. කොටසින් කොටස දෙනු ලබන්නේ ය. එතෙක් ඉවසනු මැනව…

©වාරා

Posted in වාරාගේ හුස්ම

කළු පාට ප්‍රේමය

බල්ලෙකුගේ හදවත කියන තරම් කැත නෑ මැණික. බල්ලා සතෙක් උනාට ඌ දන්නවා නියමාකාරව හැසිරෙන්න. අවශ්‍ය පුද්ගලයාට බුරන්න. අවශ්‍ය පුද්ගලයාට ඇගෑළුම්කම් පාන්න. මැණික, බල්ලාගේ හදවත ලස්සනයි….
                        කළු පාට කියන්නේ හෙන මූසල පාටක්…! අදුරේ සංකේතය කළුපාටලු. ඇත්ත… කළුපාටට මොනම විදියකවත් නිශ්චිත අර්ථකථනයක් නෑ. කළුපාට කියන්නේ කළුපාටට. අපි දන්නේ එච්චරයි. මැණික, මගේ හදවතත් කළුයි…!
නිසසල විලක හීන් පුංචි නෙළුම කෙමෙන් ඉහලට පිපීගෙන එද්දී මට ඕනි වුණේ ඒ නෙළුම අතගාලා බලන්න. නෙළුම කොයි වගේද කියලා දැනගන්න. නෙළුම බලෙන් හරි විකසිත කරන්න. මං නෙළුම ගැන දැනගන්නකොට වෙන කිසිම විලක නෙළුම් මලක් පූදින්න පටන් අරගෙනවත් නෑ මං හිතන්නේ.
මං ආස කළා කටරොළු මල් වලට. ඒත් මං බය වුණා කටරොළු මල් වලට ළං වෙන්න. ඒවා වටේම මීමැස්සෝ සැරිසරනවා. උන් විද්දොත් කියලා මං බය වුණා. නමුත් මං ආසා කළා නිල් කටරොළු මල් සිපගන්න. ඒවා විදින්න. ඒවාට ළං වෙන්න.
එකොළහ වසරේ අන්තිම වාරේදී ඉස්කෝලේ අයිනේ වැටමාර ගහ යටදි මං කටරොළු මලක සුවද බැලුවා. කටරොළු මලේ පෙති වින්දා. ඈත් කළා. මැණික, මං එදා තමයි මුල් වරට කටරොළු මලක් දැක්කේ.
ආසාවල් එනවා. ආසාවල් ආවම නැතිවෙලා යන්නේ හරිම අඩුවෙන්. ඒකයි මම එක කටරොළු මලක් ළග නොනැවතී දිගින් දිගටම කටරොළු සොයාගියේ. මට ඕනි වුණේ කටරොළු මල් ගැන ප්‍රවීණයෙක් වෙන්න. ඒකට මට කටරොළු පෙති තලන්න වුණා. යුෂ වෑහෙනතෙක් කටරොළු මල් මිරිකන්නට වුණා. ඒත් මම සංතෘප්තිමත් වුණේ නෑ. මං තවමත් කටරොළු මල් හොයනවා.
මැණික, සුදුපාට පෙනුමට තිබුණු හිත් බිත්තිය කෙමෙන් කෙමෙන් පුස් බැදිලා බැදිලා කළුම කළු පාට වුණා. දැන් සුදුපාට පොඩ්ඩක්වත් නෑ. තියෙන්නේ කිසිම තේරුමක් නැති කළු පාටක් විතරයි.
ආසාවන් ප්‍රහීන කරන්න තරම් හැකියාවක් තියෙන රහතෙක් නෙවෙයි මම. ඒ වුණාට ආසාවල් වලට වහල් වුණ අමුම අමු තිරිසනෙකුත් නෙවෙයි මම. මම කළුපාට රොමෑන්තිකයෙක්…! මං ආදරේ කරනවා. කටරොළු මල් වලට. ඒ සුවදට මං ආදරය කරනවා. ඒ මිහිරට මම ප්‍රේම කරනවා.
මං දන්නවා මීට මාස දෙකකට පෙර ඔයා මාව හොයාගෙන ආවේ ඒ වැටමාර ගහ ගැන තිබුණ මතකය නිසා කියලා. මං ඔයාව ළගට ගත්තෙත් ඒ වැටමාර ගහේ දිනක මතකය නිසාම මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. හැබැයි මට මතක එක දෙයක් ඔයාට අමතකයි මැණික. මම උසස් පෙළට යන කාළේදීම ඒ වැටමාර ගහ කපලා දැම්මා.
කපපු වැටමාර ගහක් ආයෙත් හිටවන්නේ කොහොමද? ඒ ගහ අතෑරලා අළුත් ගහක් හිටෙව්වට ඒ ගහ මේ ගහම නොවන බව අමුතුවෙන් කියන්න ඕනි නෑනේද මැණික..? මට ඕනි වැටමාර ගහ ළග මතකයේ රැදුණ කටරොළු මල මිසක වැටමාර සෙවණ නෙවෙයි. මැණික ඔයාට තේරෙනවා නේද..?
මේ මාස දෙක  මං වින්දා. නෑ කියන්නේ නෑ මම. නමුත් ඕනෑම මලක් කාලයක් යද්දී පරවෙනවා. එතකොට ඒ මලේ සුවදවත් තව දැනෙන්නේ නෑ. මටත් එහෙමයි. ඔය කටරොළු මල මට දැන් පරවෙලා. ඒකයි මං ගිය සතියේ ඉදන් අළුත් කටරොළු මලක සුවද බැලුවේ. මැණික මං කටරොළු පැලේට නෙවෙයි, මලට පෙම් කරන්නෙක්.
මං දන්නවා ඔයා එදා වැටමාර ගහ ගැන කළකිරිලා බව. ඇත්ත… කටරොළු මල් බලන්න වැටමාර මට ආවරණයක් වුණා විතරයි. සමාවෙන්න කියන්නේ නෑ මම. මොකද මේ මම. මේ මම ම මිස වෙනෙකෙක් නෙවෙයි. ඉතින් සමුදෙමි මම. වැටමාර මතකයට. ඔයාටත් පුළුවන් ඒක කරන්න. සදහටම වැටමාර ගහ මුලිනුපුටා දාන්න. හැබැයි මම එක දෙයක් ඔයාට කියනවා. මං ඔය කටරොළු මලේ සුවද මතුපිටින් වින්දා විතරයි. කටරොළු පෙති එදා වගේම ස්පර්ශ කළා විතරයි. මගේ කළු හිතේ පරවුණාට තවමත් ඔය කටරොළු මල වෙනකෙක්ට නැවුම්. සුබ ගමන් ඔයාට.

            “ තමුසේ මහා බල්ලෙක්….! ”

මං දැන් ඔයාගේ ඒ කියමනට පිළිතුරු දෙන්නම්.

            “ නෑ මං බල්ලෙක් නෙවෙයි…! කළුපාට ප්‍රේමවන්තයෙක්…! ”

©වාරා

21/10/2018

Posted in නාඳුනන්නෙකුගේ දිනපොත, වාරාගේ හුස්ම

නාඳුනන්නෙකුගේ දිනපොත #9

දිනපොතේ පෙර පිටුවට ⇒ සැප්තැම්බර් 20 – බ්‍රහස්පතින්දා

 සැප්තැම්බර් 24 – සඳුදා

මට හරිම මහන්සියි…!
හීන පස්සේ දුවලා දුවලාම මං දැන් හති වැටිලයි ඉන්නේ. දැන් තවත් දුවන්න තරම් ශක්තියක් මට ඉතුරු වෙලා නෑ. මං නවතිනවා. ඔව්… මම මෙතන නවතිනවා…!
ඉපදුන විගස අපි දෙකන් පෙති වලට ඇසෙන ශබ්දය විදින්න උත්සහ කරන්නෙමු. ඒ ශබ්දය හදුනාගන්න, එකිනෙකට වෙනස් ශබ්ධ රසයන් වෙන් කරලා හ‍දුනගන්න අප උත්සහ කරන්නෝ ය. ඊට පස්සේ අපි උත්සහා කරනුයේ ඇස් දෙක විවර කර ලෝකේ දිහා බැලීමට ය. අපි ඉදිරියේ තියෙන වස්තූන් අදුරගන්න අපි කොතරම් උත්සහයක් ගන්නවද…? ඒවා විවරණය කරලා වෙන් කරලා අදුරගන්න අපි කොතරම් වෙහෙස වෙනව ද? ඉපදුන දවසේ ඉදලා අපි කරනුයේ හීන පස්සේ හඹා යෑම ම පමණි. රස කෑම හදුනගන්න, වචන අමුණලා කතා කරන්න, දෙපයින් නැගී සිටින්න, එකී නොකී කොපමණ දේවල් වලින් අපේ ජීවිත ගමන ගොණු වෙලා තියෙනව ද?
මට දැන් ඇති…! මට දැන් මහන්සියි…!
අධ්‍යාපනය කියන්නේ මෙන්න මේකයි කියලා සීමාවන් නීර්ණය කරන්න පුළුවන් ද? නෑ… අධ්‍යාපනය කියලා කියන්නේ විසල් පරාසයක්. නමුත් අපි සම්මත සීමාවන් පනවලා අධ්‍යාපනය එක්තරා රාමුවකට සීමා කරනවා. ඊට පස්සේ අපි උත්සහා කරන්නේ මේ රාමුව තුළ තියෙන සීමා නීර්ණයන් වලට අනුකූලව ඉගෙන ගන්න. ඒ සීමාකාරී මාවත ඔස්සේ ඉදිරියට හිතන්න. සීමාකාරී චින්තකයෙක් සීමාකාරී දාර්ශණිකයෙක්, සීමාකාරී වෘත්තිකයෙක් වෙන්න. ඔව්.. අපි හැමෝම නිශ්චිතයැයි සම්මත අධ්‍යාපනික රටාවක් ඇතුළේ කොටු වුන මිනිස්සු.

            පොඩි කාලේ මට ඕනි වුණේ පංසලේ ඝාන්ඨාරේ ගහන පියදාස මාමා වෙන්න. ඊට ටිකක් ලොකු වෙද්දී මට හංදියේ කඩේ මුදලාලි මාමා වෙන්න. පොත්පත් කියවන්න පටන් ගනිද්දී ඒ පොත් රසවිදින්න පටන් ගනිද්දී මට ඕනි වුණේ ලේඛකයෙක් වෙන්න. ඊට පස්සේ…. ඊට පස්සේ අපේ අම්මට ඕනි වුණා මාව දොස්තර කෙනෙක් කරන්න. මගේ තාත්තාට ඕනි වුණා මාව දොස්තර කෙනෙක් කරන්න. මගේ නෑදෑයොන්ට ඕනි වුණා මාව දොස්තර කෙනෙක් කරන්න. ඉතින් හැමෝටම ඕනි නිසා මම දොස්තර කෙනෙක් වෙන්න ඉගෙනගන්න වුණා.

උසස් පෙළ විද්‍යාව කරන්න සුදුසුකම් රහිතව මම සාමාන්‍ය පෙළ සමත් වුණා. මට සතුටුයි… ඒ මගේ උපරිම ය. උපරිම හැකියාව..! නමුත් මට නොහැකි වුණා අන් කිසිදු කෙනෙක්ව සතුටට පත් කරන්න. සියළු දෙනාම මාව දුටුවේ අසාර්ථකයෙක් විදියට. පරාජිතයෙක් විදියට. ඉතින්… මගේ හිතේ තිබුණ සතුට නැති වෙලා ගියේ ගිණි පෙළෙල්ලක් උඩට වැටුණ දිය බිදිත්තක් වගේ. නැත්තටම නැති වෙලා ගියා.
ඉන් පස්සේ පෙර කී හැමෝටම ඕනි වුණේ මාව ගණකාධිකාරවරයෙක් කරන්න. උසස් පෙළ සමත් වෙලා කැම්පස් යනවා දකින්න. පංසලේ ඝාණ්ඨාරේ ගහන පියදාස මාමා හෝ හංදියේ කඩේ මුදලාලි මාමා හෝ ශ්‍රේෂ්ඨ ලේඛකයෝ හැමෝම කැම්පස් ගිය අය නෙවෙයි. ඉතින් මටත් කැම්පස් යන්න බැරි වුණා. ඔව්… එවර මම සදහටම පරාජිතයෙක් ලෙස සමාජය ඉදිරියේ නීර්ණය කරනු ලැබුවා. දැන් මං නිකමෙක්…! ඉගෙනගත්තේ නැති..!
ඉගෙනීම කියන්නේ කැම්පස් ගිහින් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් හෝ වෙනත් වෘත්තිකයෙක් වෙලා මුදල් ගොඩක් එකතු කරගෙන සැපවත් ජීවිතයක් ගත කරන එකයි කියලා හිතාගෙන ඉන්න වහල් සමාජයක ඉන්න එක්තරා ඉත්තෙක් මම. නමුත් ඉගෙනීම කියන්නේ ඇත්තටම ඒක ද?
මම ඉගෙනගත්තෙමි.
ජීවිතයේ පැරදුම දරන හැටි මම ඉගෙනගත්තෙමි. සමාජ අවලාද අපවාද වලට මුහුණ දෙන හැටි මම ඉගෙන ගත්තෙමි. මිනිස්සු මනින මිම්ම පිළිබද මම ඉගෙනගත්තෙමි
මම තවමත් ඉගෙනගනිමි…!
හැමදෙයක් ගැනම…
අපි හැමෝම හීන පස්සේ දුවන මිනිස්සු. එක්තරා නිර්වචනයක් තියෙනවා හීන නැත්නම් ජීවිතයක් නෑ කියලා. ජීවිතයට ආලෝකය වන්නේ හීන කියලා. මිනිස්සුනේ… කවදාද අපි හීන දකින එක නවත්වන්නේ…!
ජීවිතයකට ඉලක්කයක් තිබිය යුතුයිලු . ඉලක්කයක් නොමැති ජීවිතය ඔහේ ගංදිය මත පාවෙන උණ බම්බුවක් වැනි යැයි සම්මතයක් අප අතර පවතිනවා. මම ඒ සම්මතයට වෛර නොකරන අයෙක්. නමුත් මම ඒ සම්මතයට වහල් නොවූ අයෙක්.
හැමෝම හීන පස්සේ දුවද්දී මං විතරක් එක තැනක නතර වෙලා ඒ හැල්මේ දුවන ජීවිත දෙස බලාන ඉන්නවා. ඒ ජීවිත විදිනවා. ඒ ජීවිත වලට ආදරේ කරනවා. අනුකම්පා කරනවා.
නමුත් මම දෙයක් දන්නවා. මම යෙදිලා ඉන්නෙත් සාපේක්ෂ චලිතයක. කෙතෙක් නෑ කිව්වත් මටත් එකම එක හීනයක් හෝ තියෙනවා. ඒ තමයි ජීවත්වීමේ සිහිනය. මට සාපේක්ෂව මම නිසල වුවද බාහිරින් දකින්නෙකුට මගේත් චලිතයක් අනිවාර්යෙන්ම දකින්න ලැබෙනු ඇති. මම සියළු කෙළෙස් ප්‍රහීන කළ රහත් නමක් නොවෙමි. මමද පෘතග්ජන මනුස්ස ප්‍රාණියෙක්මි.
 නමුත් මට මහන්සියි. හොදටෝම මහන්සියි.
            මම නැවතිලා ඇතැයි සිතා මම නැවතී සිටින්නෙමි. මම මාවම31641770804_c9a821c4b2_b රවටා ගනිමි. එය මා හට සැපතක්ම වේ.

කළු රෝස මල මාව රස්තියාදුකාරයෙක් කළා යැයි මම ඇයට චෝදනා නොකරමි.
නමුත් ඇය මට යමක් අවධාරණය කර දුන්නා ය.
අප මෙතෙක් කල් ජීවත් වී ඇත්තේ අනුන්නට වුවමනා සම්මතයන්ට අනුව ය. අනුන් දකිනා ආකාරයට ලෝකය දකින්න අප සැකසී ඇත. නමුත් අපටම ආවේණික ඇහැක්, අපටම ආවේණික මනසක්, අපටම ආවේණික ජීවිතයක් අපට ගොඩනගා ගත නොහැකි ද? ඇයි ලෝකයාට අපි මෙතරම් බය…?
ඉතින් මම නවතින්නට තීරණය කළෙමි.
මා ඇයට පෙම් කළේ දැයි යන්න දන්නේ මාගේ චිත්තාභ්‍යන්තරය පමණි. නමුත් එකී ප්‍රේමය දරන්නා වූ මාගේ ප්‍රකාශනය ප්‍රේමය ලබන්නා ප්‍රතික්ෂේප කළ කල්හී මාගේ ප්‍රේමයට තවදුරටත් පැවැත්මක් තිබිය හැකිදැයි මා නොදනිමි. එබැවින් ඇය නමට මගේ සිත තුළ ප්‍රේමයක් දැන් නොපවතින්නේ යැයි මම කියමි. නමුත් මම පෙර ද මම පැවසූ ආකාරයටම මම මාවම රවටා ගන්නෙක්මි.
ඇය මා ප්‍රතික්ෂේප කොට අද වන විට සය දිනක් ගෙවී ගොස් අවසන් ය.
මේ වන විට මම මටම ආවේණික රස්තියාදුකරුවෙකු වී සිටින්නෙමි.
උදෑසන නිවසින් පිටවන මා ආපසු නිවසට පැමිණෙන්නේ මධ්‍යම රාත්‍රිය පසුවූ කල්හීදී ය. වෙනදා මෙන් නොව මව හා පියා ද මා අතැර දමා ඇති සැටියකි. ඔවුන් වෙනදාමෙන් මා සමග ආරෝවට නොපැමිණෙන්නේ ය. ඒ ඔවුන් මා අතැරි නිසා ද නැතහොත් මා සමග ආරෝවට පැටලීමට හැකි තරම් කාලයක් මා නිවසේ නොරැදෙන බැවින්දැයි නොදනිමි.
දහවල වනතුරු මම පුස්තකාලයට වදිමි. නැතහොත් සිනමා ශාලාවට වදිමි. පොත් කියවීම එදා ද මගේ විනෝදාංශයක් විය. දැනුදු එය විනෝදාංශයක්ම වේ. ඉන්පසු දහවල මම පාරට බසිමි. ඉබාගාතේ ඇවිද යන්නෙමි. සිගරට්ටුව කටේ හොවා ඉබාගාතේ යන ජීවිතය එදින ද මා ප්‍රිය කළ අතර දැන් වඩාත් ප්‍රිය කරමි. එසේ ඇවිද යන කල්හී මා පෙර කීවා සේ හීන පසුපස හති වැටී දුවන්නන්ගේ ජීවිතය මා ඉදිරිපිට දර්ශණය වන්නේ ය. මම එය නිරීක්ෂණය කිරීම ප්‍රිය කරමි. ඉක්බිති මාගේ සවස් යාමය ගෙවෙන්නේ මිතුරු කල්ලියක් සමග ය. ක්‍රිකට් ගසමිනි. නැතහොත් පාපන්දු කෙළියේ යෙදෙමිනි. එසේත් නොමැතිනම් අතොරක් නැති සංවාදයේ යෙදෙමිනි. මෙය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වුවද මින් අපගමණය වූ දිනද නැතුවා නොවේ. මේ මාගේ දෛනික ජීවිතයේ එක්තරා ලඝු කිරීමක් පමණක් වන්නේ ය.
අදත් එවන් වූ දවසකි.
සවස් යාමය මා පෙර කීවා සේ මිතුරෝ සමග ගෙවීමට මා ප්‍රිය කරමි. නමුත් චිත්තාභ්‍යන්තරයේ ඇතිවුණා වූ හැගීමක් අනුව මට එදින මිතුරු සමාගමය ප්‍රිය නොවීය. ගොම්මන් අදුර රජයන යාමයේ මා මුහුදු වෙරළ අසබඩ මාර්ගයේ ඇවිද යන්නට තීරණය කළෙමි.
තැඹිලි පැහැති සූර්යයා වළාකුළක තැන්පත්ව මුහුදු තටාකයේ ගිලෙන්නට සැරසෙද්දී කැදලි කරා දිව යන්නා වූ සියොත් කැළක් ද අපරදිග අහසේ මට දර්ශනය වීය. එකී සුන්දරත්වය විදිමින් මා මාවත ඔස්සේ ඉදිරියට සෙමින් ඇදුණෙමි.
ඇතැම් හමුවීම් අහම්බයන් ය. එවන් අහම්බයන් ඇතැම්විට කිසිසේත්ම ජීවිතයේ ඔබ අපේක්ෂා නොකළ ප්‍රතිඵල ඔබට ගෙනෙනු ඇත. ඇතැම් විට එකී අහුඹු හමුවීම් ඔබේ ජීවන ගමන් මග වෙනතකට හරවනු ඇත. එය තීරණය වන්නේ ඔබට සිදුවුනා වූ අහම්බයේ ස්වභාවය අනුව ය.
මට ඔහු හමුවන්නේ ද එවැනි අහම්බයකිනි…!

©වාරා
28/09/2018

(රූප අයිතිය මුල් හිමිකරු සතු ය. උපුටාගැනීමක් පමණි.)