Posted in Uncategorized

හිට්ලරාගමනය

මේ කියන්න යන්නේ හිට්ලර්ගේ ලංකාගමනය පිළිබඳවය. මේ හිට්ලර් ඒ හිට්ලර්මය. වෙනසක් නැත්තේම ය. ඇලොයිස් හිට්ලර් හා ක්ලේරා පෝල්සල් ගේ දරුවා ය. නාසිවාදය ලොව පතුරවපු ඒ ඒකාධිපතියා ය. ජර්මනිය අල්ලා ලෝකයම හොල්ලා දැමූ ඒ සටන් කාමීයාමය. යුදෙව්වෝ දහස් ගණනින් මරා දැමූ කෘර පාලකයාය. ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂයේ නායකයා ය. ඊවා බ්‍රෝන්ගේ පෙම්වතා ය. කාලය හරහා ගොස් ඩෙඩ්පූල්ටද මැරිය නොහැකි වූ ඒ කුඩා කොළු ගැටයාය. චාලි චැප්ලින් අනුකරණය කර පෙන්වූ ඒ පුද්ගලයාමය. ඔව්.. මේ හිට්ලර් ඒ හිට්ලර්මය.
මා නිදා සිටිනා කාමරයේ එකවරම හෙණ ගැහුවා සේ අසීමාන්තික එළියක් නිකුත් වුණි. අති මහත් බියට පත්වූ මා හිඳ සිටි පුටුවද පෙරළාගෙන බිම ඇඳ වැටුණ අතර මගේ සිතේ මගේ බෝඩිම් සඟයාට සහ ඔහුගේ මවට ශාපයක් ක්‍රියාත්මක වෙමින් තිබුණි. මන්දයත් අදත් ඒ බූරු පිංගුත්තරයා ප්‍රෙෂර් කුකර් එක පුපුරවාගත්තා යැයි මම සිතූ බැවිනි. පසුගිය වර ප්‍රෙෂර් කුකර් එක පුපුරා යාමෙන් මා හා ඌ සතියක් රෝහලේ ඇඳට වී සිටි හැටි මට හොඳට මතකය.
ඒත් ඌද මා මෙන්ම බිම ඇඳ වැටී සිටිනු දැකීමෙන් මම මොහොතකට පස්වනක් ප්‍රීතියෙන් උදම් වූවද ඊට පසු මොන ඉටි ලබ්බක්ද උනේ යැයි තේරුම් ගත නොහැකිව තුෂ්ණිම්භූතව “ ජොබා ” බලා සිටින දිශාවට නෙත් යොමු කළෙමි. සමාවෙන්න… ජොබා යනු මගේ බෝඩිම් සඟයාය. නැතහොත් පෙර සඳහන් කළ බූරු පිංගුත්තරයාය.
මම උඩ ගියෙමි.
අප ඉස්සරහා එකෙකු සිටගෙන සිටියේ ය.

“ අප්පට සිරි චාලි චැප්ලීන්….! ” ජොබා සතුටින් කෑ ගැසුවේ ය. මින් පෙරද ජොබා ඒ ආකාරයටම කෑ ගැසූ අවස්ථාවක් මට මතක තිබුණි. ඒ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වුණ මොහොතේ ය. ජොබා යනු සුපිරි බයියෙකි.

“ නෑ යකෝ… මං හිට්ලර්….” අප ඉස්සරහා හිටගෙන හිටපු එකා ගෝරණාඩු කළේ ය. “ ඒ යකා මාව ජෝකර් එකෙක් කොරානේ… මං ඉන්නේ ඕකව අහුවෙණකම්.. වහනවා ගෑස් කාමරේක දාලා… ගෑස් කාමරේක…”

චාලි චැප්ලින් වේවා හිට්ලර් වේවා මළ පෙරේතයෙක් අපේ කාමරයේ හිටගෙන සිටින බව දැක ගැනීමෙන් බියවූ මා ගැහෙන්නට වූ අතර වම් කකුළ දිගේ උණු දිහ පහරක පහසක්ද දැනෙමින් තිබුණි. වැස්සකටවත් පන්සල් නොයන ජොබා ඉතිපිසෝ ගාථාව මුමුණනු මට යාන්තමට මෙන් ඇසෙමින් තිබුණු අතර මල පෙරේතයාගේ මුහුණේ වූ සැර බැල්මෙන් බියපත් වූ මා දොහොත් මුදුන් දී වන්දනාමාන කරමින් ඌ ඉස්සරහා ඇඳ වැටුණේ ය.

“ අනේ අපිට අනුකම්පා කරන්න හිට්ලර් තුමනි…. අර්ජුන ඇලෝසියස් පල්ලා අපිනම් කිසිම වරදක් කොරලා නෑ… කොටින්ම වංචාව කියන වචනේ අහලාවත් නෑ….”

“ මොන ලබ්බකටද මිනිහෝ දන ගහන්නේ… නැගිටපිය… මගෙන් උඹලාට අනතුරක් නෑ…” හිට්ලර් නහය ඉව කරමින් කීවේ ය. “ චූ ගදක් එනවනේ… උඹලා මේ කාමරේ හෝදන්නේ නැද්ද…?”

“ හිට්ලර් ඔයා මැරුණනේ…?” හිට්ලර්ගේ චූ කතාව මගාරිමින් මං විමසා සිටියේ ය.

“ ඔව් යකුනේ… මැරුණා තමයි…” හිට්ලර් කිරිපාට දත් පෙන්වා සිනාසුණේ ය. හිට්ලර් රෑටත් දත් මදිනවා විය යුතු යැයි මම සිතා ගත්තෙමි.

“ මැරුණානම් ඔය ඉන්නේ යස අගේට…” ඒ වන විට සියළු බිය පහව තිබුණ බැවින් සුපුරුදු ලෙස ඇද උඩට නැඟ එරමිණිය ගොතාගෙන දුමක් අදිනා අතරවාරයේ ජොබා විමසී ය.

“ යමයා මට පොඩි ටුවර් එකක් දුන්නා… මං මේ ඒක යන ගමන්…”

යමයා යනුවෙන් හිට්ලර් අදහස් කළේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ කරන එකෙක් යැයි සිතූ මම       “ දැන් ඒ ලෝකෙටත් වීසා දෙනවද ?” යැයි විමසා සිටියෙමි. හිට්ලර් පගාව දුන්නා විය යුතුය. මට සිහින් සිනාවක් නැගුණි.

“ මිනිහෝ… යමයා කිව්වේ යම රජාට.. ලුසිෆර් ලුසිෆර්… අන්න ඒකා…” සිට්ලර් එසේ කියා ජොබාගේ ඇ‍‍‍දේ පැත්තකින් ඉදගෙන ජොබා දෙස බැලුවේ ය. “ මොනවද යකෝ ඔය කරන්නේ… හරියට මං යුදෙව්වොන්ට ගෑස් පොම්ප කරා වගේ…”

“ මේ තණමල්විල සාරවත් වතු යායවල් වලින් නෙලාගත් නැවුම් ගංජා ටිකක්…” යැයි පැවසූ ජොබා හිට්ලර්ට එය දිගු කළේ ය. “ ගහපං ටිකක්… ආය කෙනඩි තුඩුවෙන් යැවුව රොකට් එකක ඉදගත්තා වගේ…”

හිට්ලර් මද වේලාවක් නිහඬව සිටියේ ය. සමහර විට හිට්ලර්ට යුදෙව්වන්ට රුසියානුවන්ට ගෑස් ගැසූ ආකාරය මතක් වී උනුත් ජර්මනියෙන් රොකට් ගත වූවා දැයි සිතනවා විය යුතුය.

“ හිට්ලර් සිරාවට යම ලෝකෙන් කොහොමද මේ ලෝකෙට ආවේ…? ”

“ යමයා වී.අයි.පී ඩෑල්ස් වලට කාලෙන් කාලේට පොඩි ටුවර්ස් ටිකක් දෙනවා…” හිට්ලර් කීවේ ය. ඒ මොකදැයි මා විමසූ විට තමා ඒ ගැන නොදන්නවා යැයි අඟවමින් ඔහු උරහිස් ඇකිළුවේ ය. “ මට මොකද ඕයි… වද විදලා ඇතිවෙලා නිවාඩුවක් ලැබුණ එකේ මං ආවා…”

“ යකෝ යම ලෝකෙත් වැකේෂන් තියෙනවා… ” ලාංකේය සරසවි සිසුවෙක් වූ මගේ මුවින් පිටවුණේ ය. ජොබා අනුකම්පා සහගතව හිටි තැනින් නැඟිට විත් මගේ පිටට තට්ටු කළේ ය.

“ මං ආසයි මේ රට පොඩ්ඩක් බලන්න… යමු ද රවුමක්…”

හිට්ලර් එක්ක එකට පාරේ බැස යාමට අවස්ථාවක් සක්‍රයාට තියා උගේ පුතා වයිමාටත් ලැබෙන්නේ නැති හෙයින් මම එකපයින් එයට එකඟ වී කකුල් දෙකෙන් ගමනට අවතීර්ණ වීමි. හැමදේටම මා පසුපස වැටෙන ජොබාද පාවෙමින් අප පසුපස වැටුණේ ය.
කාමරයෙන් එළියට බට හිට්ලර් විස්මයෙන් වටපිටව නිරීක්ෂණය කරන අයුරු දුටු මා ඒ ඇයි දැයි විමසා සිටියේ ය.

“ මං මේ කල්පනා කළේ මං ඉන්නේ මගේ ගෑස් කාමරයක් අස්සේද කියලා…” ඔහු නැවත වරක් වාතය ඉව කළේ ය.

“ ආ.. නෑ … නෑ… හිට්ලර්… මේ කොළඹ” මං ඔහුගේ අස්ථානගත බිය පහ කරමින් පැවසුවෙමි. “ මේකේ ක්ෂණික මරණය ගේන වායු නෑ… සල්ෆර් ඩයොක්සයිඩ් චුට්ටකුත් කාබන් මොනොක්සයිඩ් වැඩියෙනුත් දාලා හැදුණ මිශ්‍රණයක් තමා තියෙනවා…”

“ යකෝ… ඒ අතින් මගේ ගෑස් කාමර සානුකම්පිතයිනේ කොල්ලෝ….ඒකේදී එකපාර මරණවා…. මේකේදී මරන්නේ ටික ටික.. ඇගට පතට නොදැනෙන්න…” යැයි පැවසූ හිට්ලර් කබා සාක්කුවෙන් ගත් ස්කාෆ් එකකින් නාසය බැද ගත්තේ ය. පිට කොටුවේ පේමන්ට් එකේ තියෙන හුරු පුරුදු බොබ් මාලේ රුව එහි වූ අතර මා එදෙස විමසිල්ලෙන් බලද්දී හිට්ලර් මගේ සැකේ දුරු කළේ ය. “ ආ… මං මේක ඉල්ලගත්තේ මෙහෙන් එහෙට ගිය වාමාංශික ඩෑල් එකකින්… අපරාදේ කියන්න බෑ මිනිහා සමාජවාදෙයි මාක්ස්වාදෙයි ගැන ඇරෙන්න ලෙනින් ගැන හැමදේම දන්නවා…”

අප පදික වේදිකාව ඔස්සේ ඉදිරියට පිය මැන්නෙමු.

“ කව්ද බං ඒ අඩනවා ඇහෙන්නේ…! හරියට අර්ශස් අමාරුව හැදිලා වගේ…?” හිට්ලර් එසේ විමසූ හෙයින් මමද ඒ හඬ ආ දිශාවට හැරුණෙමි. නයි කයිද රෝස් පාන් කිව්වලු. මේ අපේ සමිත් සිරිමාන්න අයියා නේ..! සමිත් සිරිමාන්න අයියා පාරේ පැදුරක් එලාන ගිටාරය වයමින් ගීත කියමින් සිටි අතර ඔහු වටකරගත් කොල්ලෝ කුරුට්ටෝ රෑනක් නාහෙන් හොටු පෙරමින් අඬමින් සිටියෝ ය.

“ ආ මේ ඉන්නේ සමාජ සේවකයෙක්…!” ජොබා දුම්පාරක් පිට කරමින් කියන්නට වීය. “ ලංකාව පුරාම ඉන්න ඇටිකිති කොල්ලෝ කුරුට්ටෝ බූට් කාපුවාම සනසන්නේ මෙයාලා වගේ අය තමයි… දැන්නම් පදුරක් පදුරක් ගානේ මෙයාලා වැහි වැහැලා… හිට්ලර්ටත් ඕනිනම් සිංදුවක් අහමු…”

මම හිට්ලර්ට ඇහෙන ලෙස සිංදුවක් ගයනා ලෙස සමිත් සිරිමාන්නට ආරාධනා කළ අතර ඔහු ගයන්නට වීය. ගීතය අවසන් වූ විට මම හිට්ලර් දෙස බැලූ අතර හිට්ලර් දොහොත් මුදුන් දී වැදගෙන සිටිනු දැකීමෙන් මම විමතියට පත්වීමි.

“ හිට්ලර් ඒක බැති ගීයක් නෙවෙයි… බූට් ගීයක්…” ජොබා පැහැදිලි කරදුන් පසු හිට්ලර් අත පහළට දැම්මේ ය.

“ අප්පට සිරි එහෙමද…? ” සිදුවූ වස කිණ්ඩිය වසාගනු වස් හිට්ලර් සාක්කුවට අතදමා ගත් මුදල් කිහිපයක් ගායකයා අත තැබීය. ඉන්පසු එතැනින් ආ බස් රථයකට අතදමා අප තිදෙන එයට ගොඩවුණෙමු. හිට්ලර්ට බස් අත්දැකීම දීම මගේ අභිප්‍රාය විය.
බසයෙන් බැසගත් මොහොතේම හිට්ලර් අසල වූ බෝක්කු කණුවක් උඩ ඉදගත්තේ ඔළුවේ අතගසාගනිමිනි. හිට්ලර්ට අසනීපයක් යැයි සිතා කලබල වූ ජොබා හා මම  වහා ඒ පිළිබඳව විමසා සිටින කල්හී ඇඩූ කඳුලින් යුතුව හිට්ලර් පිළිතුරු දුන්නේ ය.

“ මං හිතාන හිටියේ මගේ ගෑස් කාමර තමයි සුපිරිතම වධකාගාර කියලා… ” යැයි පැවසූ ඔහු ඉකිබිදින්නට වීය. “ මං වැරදියි… ගෑස් කාමරේකට වඩා බයානකයි උඹලාගේ ප්‍රයිවට් බස් එකක්… ගෑස් වලින් නෙවෙයි උඹලා මිනිස්සු මරන්නේ සංගීතෙන්…”

අප නැඟි මොහොතේ පටන් මහ හයියෙන් විකාශය වූ ඇටෑක් ෂෝ එකේ ගීතාවලිය හිට්ලර්ට මහත් පීඩාවක් ගෙන දී ඇති බව වටහාගත් මම හිසේ තෝන්තුවාව යාමට පැනඩෝල් පෙති දෙකක් පානය කිරීමට දුන්නෙමි. එසේ වුවද මා අපේ සංගීතය පිළිබඳව ආඩම්බර වීමට සිතා ගත්තෙමි. ලෝකයේ දරුණුතම පාලකයාද ඇඩවීමට සමත් වූ සංගීතයක් අපට තිබීම ආඩම්බරයක් නොවේ ද..? මද වේලාවකට පසු හිට්ලර් සහනයක් ලැබූ බවක් පෙනුන හෙයින් අපි නැවතත් ගමනට වැටුණෙමු.
“ අර මොකද බං අර…?”

සැ.යු – හිට්ලර්ගේ කතාව හෙන දිගට ලියවුණේ ය. එනිසා තවත් කොටසකට කඩන්නට සිදු වන්නේ ය. කොටසින් කොටස දෙනු ලබන්නේ ය. එතෙක් ඉවසනු මැනව…

©වාරා

Advertisements

Author:

‍‍ඉඩ දෙමි පාවෙන්නට ජීවිතය. සුළඟට ඉඟි කරමින් සුළඟ මත රැ‍‍‍‍දෙමින් සුළඟටම පෙම් කරන්නට

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s