Posted in නාඳුනන්නෙකුගේ දිනපොත

නාඳුනන්නෙකුගේ දිනපොත #10

දිනපොතේ පෙර පිටුවට ⇒සැප්තැම්බර් 24 – සඳුදා

 ඔක්තෝබර් 2 – අඟහරුවාදා

අහම්බයන්….
            අහම්බයන්ට පුළුවන් මිනිහෙක්ව ජීවත් කරන්න. ඒ වගේම අහම්බයන්ට පුළුවන් මිනිහෙක්ව අවුල් කරලා දාන්නත්. සිහිනයත් යථාර්ථයත් අතර ජීවිතය බද්ධ කරන සම්බන්ධීකාරකය අහම්බයන්ම යි. අහම්බයන් නැති තැනක් ජීවිතයේ තියෙනව ද…? මේ දැන් මම ගත්ත හුස්ම පවා අහම්බයක් නෙවෙයිද?
ජීවිතයම අහම්බයක්…!
           මට ඔහු මුණගැසීමේ සිට මේ දක්වා ගෙවුණු දින අටක කාලයම හුදු අහම්බයක්ම විය යුතුයි. එදා වෙරළ තීරයේදී ඔහු මට හමුවූයේද අහම්බයෙනි. මා කිසිසේත්ම නාදුනනා ඔහු සමග කතාවට වැටුණේද අතිශය අහම්බයකිනි. එකී අහම්බයන් මත පදනම්ව ගෙවී ගිය දින අටම සිදූවූ සිදුවීම් සියල්ලම අහම්බයන්ම පමණකි.
            ඔහු…
            ඔහු අද්භූත ය. මා කිසිදිනක ඔහුගේ වතගොත විමසා නැත්තෙමි. එවැන්නක් විමසීමට මට අවශ්‍යතාවයක් ද නොවීය. ඒ පිළිබදව පැවසීමටද ඔහුට අවශ්‍යතාවයක් නොවී ය. මීට දින අටකට පෙර හැන්දෑවක දුම්රිය මගට යාබද වෙරළාසන්න ගල්කුළක් මත හිද ඈත ක්ෂිතිජය දෙස බලා සුරුට්ටුවක් ඉරූ ඔහු ගැන මා තවමත් කිසිවක් නොදනිමි. අවම වශයෙන් ගත් කළ මම දන්නේ ඔහුගේ නම ම පමණකි.
ඔහු විපුල ය. නැත… විපුල සහෝදරයා ය.
            ඔහු පිළිබද කිසිත් නොදන්නා නිසා මෙන්ම ඔහු හා බැදි මාගේ සියළු සිදුවීම් අහම්බයන් ම පමණක්ම වූ හෙයින් මම ඔහුගේ ඉපදීමත් හුදු අහම්බයක් ලෙස ම සැලකීමට හුරු වූයෙමි. එනිසා මට කිසිදා ඔහුගේ වතගොත විමසීමට උවමනාවක් නොවී ය.
නමුත්,
             “ සහෝදරයා… දුම් උගුරක් අදිනව ද..? ” මීට දින අටකට පෙර හැන්දෑවක ඔහු මා හා අහම්බයකින් මෙන් කතා කළ ඒ මූලික සිදුවීමෙන් අනතුරුව මෙකී පුරා දින අටක කාලය තුළ මා ඔහු සමග අතිවිශාල පුමාණයක් කතා කර ඇත්තෙමි. අති විශාල ප්‍රමාණයක් තොරතුරු අසා ඇත්තෙමි. ඔහු ඇවිදින දැනුම ගබඩාවක් යැයි මා සිතට ඇතුළුව ඇත්තේ ද මාගේ සීමාවට සාපේක්ෂව ඔහුගේ දැනුම් සීමාව අසීමාන්තික යැයි මගේ මනස වෙලනා බැවින් ය.
                  ඔහු විවිධාකාරවූ මාතෘකාවන් කතා කිරීම ප්‍රිය කළ අයෙකි. හෙතෙම තමා හදුන්වාදෙන ලද්දේ “මාක්ස්වාදී” නොවන “ ලිබරල්වාදී ” ද නොවන අතරමැදි සමාජවාදී චින්තනයක අතුරුමාර්ගයක් සොයා යන ගවේෂකයෙකු ලෙස ය. එකී අර්ථදැක්වීම කිසිසේත්ම මා මනස ගෝචර නොවුණද ඔහු ඒ උදෙසා එක් කළ මාක්ස්වාදය ලිබරල්වාදය සමාජවාදය යන විවිධාකාර වූ අළුත් වචන මාගේ හදවත අභ්‍යන්තරයේ තැන්පත් වූයේ නිරායාසයෙනි. උක්ත සදහන් සමාජවාදී චින්තනයට මා මනස යොමුවන්නේ ඒ අනුවය. එබැවින් මා අදහනා මෙකී සමාජවාදය ද හුදු අහම්බයක්ම පමණකි.
                       “ විප්ලවවාදී න්‍යායකින් තොරව විප්ලවවාදී ව්‍යාපාරයක් පැවතිය නොහැක.” අදට සිව් දිනකට පෙර ඔහු ලෙනින්ගේ වාක්‍යයක් උපුටා දක්වන ලද්දේ ය. එකී වාක්‍යයත් සමග සමපාත කර ඔහු මට යෝජනාවක් ඉදිරිපත් කරන ලද්දේ ද අහම්බයකිනි.
“ සහෝදරයා කැමති නැද්ද රස්සාවක් කරන්න…”
රැකියාවක් යනු වගකීම් ගොන්නකි.
වගකීම්….
                 වගකීම් යනු මා අපුල කරනා තවත් එක් සමාජ නිර්මිතයක් ය. වගකීම් යනු දම්වැලකි. මිනිසා එකම තැන එකම දෙයකට බැඳ දමනා දම්වැලකි. මිනිසා සිරකරුවෙකු බවට පත් කරනා මාංචුවකි. වගකීමෙන් බැ‍ඳ‍ෙන්නට අකමැත්තා යනු සමාජය ඉදිරියේ නිර්වස්ත්‍ර පීඩිතයෙකි. හෙතෙම සමාජය මඟින් පිළිකුල් කරන්නේ ය. දම්වැලින් බැඳි අන්යන් විසින් ඊර්ෂ්‍යාවට ලක් වන්නේ ය. සරලවම ගත් කළ ඔහු සමාජයෙන් කොන් වන්නේ ය.
වගකීමෙහි බැදීම පිළිබද මා තුළ ඇති අපුල බව මම එලෙස ඔහුට අවධාරණය කරන ලදී. නමුත් එයට ප්‍රති පිළිතුරු වශයෙන් ඔහු පවසන ලද්ද අදද මාගේ සවනත රැව් පිළිරැව් දෙන්නේ ය.

“ සහෝදරයා… අපි හැමෝම වගකීමෙහි බැදුණු මිනිස්සු. එහෙම බැදුණු මිනිස්සු මොනවා කළත් මොනවා කියෙවුවත් කවදාවත් වගකීම් හැරයන්න බෑ. ඇත්ත වශයෙන්ම සහෝදරයා වගකීම් හැරදාලා මිනිස්සු කරන්නේ තවත් වගකීම් ගොන්නක් කරගහන එකමයි. සහෝදරයා මේක රෝදයක්. කැරකිලා කැරකිලා අන්තිමට එන්නේ එකම තැනට. අපිට කරන්න පුළුවන් එකම දේ මේ කැරකෙන වේගය වෙනස් කරන එක විතරයි.”

                      “ සහෝදරයාට මං දෙන්නේ අවස්ථාවක්…! කැමතිනම් කැරකෙන වේගය වෙනස් කරන්න උත්සහයක් ගන්න…”
                      ඇතැම් තීරණ අප ජීවිතයේ ගමන් මග සහමුලින්ම වෙනස් කරනා බව සත්‍යයකි. නමුත් මෙකී කාල පරාසය තුළ සියල්ල අහම්බකාරකව සිදුවන්නා වූ බැවින් මේ තීරණය ද අහමුබයකටම ඉඩ දිය යුතු යැයි මම සිතාගත්තෙමි. ඒ අනුව අහම්බය උරගා බලනු වස් මම එකී රැකියාවට කැමති බව ඔහුට සැළ කළෙමි. නමුත් එලෙස සපථ කරන මොහොතේදීත් මම රැකියාව කුමක්දැයි කිසිසේත්ම නොදැන සිටියෙමි.
                        ඔව්.. මම අහම්බයටම නතුවූයෙක්මි. අහම්බයටම ඉඩදුන් අයෙක්මි.
                        මා කුමනාකාරයක ගොබ්බයෙක්දැයි මම ම සිතමි. කුමනාකාරයක මුග්ධයෙකුදැයි මම ම සිතමි. මන්දයත් කිසිසේත්ම නොදන්නා දින අටක මිත්‍රත්වයකට පදනම්ව කිසිදු විසතරයක් නොදන්නා රැකියාවකට පෙළැඹි මා එකී අභිරහස් දින අටේ මිතුරා සමග අවිනිශ්චිත රැකියාව උදෙසා ඔහුත් සමග එක්තරා කාර්යාලයකට ඊයේ දින ගොඩ වැදුණෙමි.
                       ප්‍රධාන වීදියට යාබදව පිහිටි මෙකී කාර්යාල ගොඩනැගිල්ලට පිවිසෙන දොරටුව ඉහලින් “ සමාජවාදී පක්ෂ කාර්යාලය“ යනුවෙන් සදහන් පුවරුවක් විරාජමානව වැඩ සිටියේ ය. එය දුටු සැනින්ම මා සිත තුළ නැගුනේ විස්මය මත පදනම් වූ කුතුහලයකි.
                             “ සහෝදරයා… උඹට තියෙන්නේ ලියන්න….“ බොහෝ වේලා මා සමග අල ගිය මුල ගිය තැන් විමසා සිටි සහෝදරයෙකු එකවරම මට පවසා සිටින ලද්දෙන් විමතියට පත් මුහුණෙන් මම ඔහු දෙස නෙත් අයා බැලුවෙමි. ඔහු මා ජීවිතයේ දැක ඇති ප්‍රසන්නතම සිනහව මට ප්‍රදානය කොට මගේ රැකියාව විස්තර කර දෙන ලදී.
                               නිකන්ම නිකන් රස්තියාදුකාරයෙකු යැයි කළු රෝස මල විසින් හංවඩු ගසන ලද මා ලාංකේය එක්තරා වාමාංශික පුවත්පතක ස්ථීර ලේඛකයෙකු ලෙස සොච්චම් පඩියකට රැකියාවට එක්වන්නේ එලෙසින් ය.
                                අහම්බයන් එලෙස මගේ ජීවිතය කළු රෝස මල අසල නතරව යා නොදී අමුතුම මාවතකට හරවන ලද්දේ ය. මම දැනුදු සිතමි. කළු රෝස මල නුඹද මා හට හමුවූ එක්තරා අහම්බයක්ම විය නොහැකි ද? ඒ සමගම චිත්තාභ්‍යන්තරයෙහි එක් රිදී රේඛාවක් ඇදෙන්නට පටන් ගත්තේ ය. කළු රෝස මල කවදාක හෝ අහම්බයකින් අප නැවත මුණ ගැසිය හැකි නොවේ ද?

                        එකී අහම්බ මත පදනම්ව මම ගෙදරට හොඳ පුතෙකු වීමි. දෙකයි පනහේ පඩියට වැඩට ගියද මා දැන් රස්සාවක් ඇති අයෙකි. උදේ පාන්දර අප්පච්චීගේ රෙකෝඩය දැන් මට ඇසෙන්නේ නැත. නමුත් තවමත් ඔහු සිටින්නේ මගේ රැකියාව පිළිබඳ අවිනිශ්චිත බාවයකිනි.
                               එය පුදුමයට කරුණක් නොවන්නේ මාද සිටින්නේ එකී අවිනිශ්චිතබාවය තුළ එල්බ සිටිනා හෙයිනි. අහම්බයන් මත පදනම් වූ සිද්ධීන් හී ස්ථාවරත්වය පිළිබඳ මා තුළ දැඩි විශ්වාසයක් නොපවතින්නේ ය. කෙසේ වුවද බොහීමියන් දර්ශණයේ නිමග්නව සිටි මා තුළ සිටි රස්තියාදුකාරයා අනියම් පුද්ගලයෙකු වී හමාරය. මම අනියම් රස්තියාදුකාරයෙකුව සිටියෙමි. උදෑසන පක්ෂ කාර්යාලයට යන මා වීදි පුරා කරක් ගසන්නෙමි. ඔවුන් මට දෙන්නේ මිනිසුන් අතරට වැදිය යුතු සිදුවීම් වාර්ථාකරණයකි. ඇතැම් අවස්ථාවල සමාජවාදී චින්තනය පිළිබද ලියන්නට දෙයි. ඇතැම් අවස්ථාවන්හීදී පක්ෂ කාර්යාලයේ සුළු සුළු අත්වැඩවලට මම හවුල් වන්නෙමි. අතැම් රාත්‍රීන්හී සහෝදරවරු සමග පෝස්ටර් ගසන්නට යන්නෙමි. නමුත් මාගේ මූලික කාර්යය වන ලීවීම උදෙසා මම කැපවෙමි. මම ද වගකීමක බැදී ඇත්තෙමි.
                          මම හැමතැනම කරක් ගසමි. හැම එකෙක්ම සොයා යමි. හැමදෙයක්ම සොයා බලමි. හැම දෙයක්ම කියවමි. හැමදෙයක්ම බලමි. හැම දෙයක්ම අසමි. හැමදෙයක්ම විමසමි. හැමදෙයක්ම එකතු කරගනිමි.
ඔව්… මම තවමත් රස්තියාදු ගසන්නෙමි.

වාරා 29/12/2018

Advertisements

Author:

‍‍ඉඩ දෙමි පාවෙන්නට ජීවිතය. සුළඟට ඉඟි කරමින් සුළඟ මත රැ‍‍‍‍දෙමින් සුළඟටම පෙම් කරන්නට

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s