දිනපොතේ පෙර පිටුවට ⇒ නොවැම්බර් 18 – ඉරිදා
දෙසැම්බර් 10 – සදුදා
මාරි කොරෙලි මෙහෙම කියලා තියෙනවා.
“ ආදරය නිසාම ජීවත් වෙන්නට වටිනේද? ඒ නිසාම මිය යන්නට වටිනේද? ජීවත්වන කෙටිකාලය තුළ එහෙ මෙහෙ දුවන ඡායාවන් මැද අපට ග්රහනය කරගත හැකි සිත් පිනවන දෙය ආදරයම ද? අඳුරේ පොර බදන අපේ ජීවිත තුළ අප කරන කියන දෑ අතර පවතින එකම පහන් එළිය එයම ද? “
මේ පණ ගැහෙන මොහොතක් පාසා අපි උත්සාහා කරන්නේ අපිට ඕනි දේවල් අපේ කරගන්න. මිනිස්සු එයට කියන්නේ ආශාව කියලා. ආශාව නැතිතැන ජීවිතයක් තියේවි ද?
නිදහස් චින්තක බොහීමියානු ආකල්පයක් ඇත්තෙකු තුළද ආශාවක් රෝපණය විය නොහැකි ද? මා විසින් මටම බොහීමියානුවෙකු යැයි ආමන්ත්‍රණය කරන කල්හී මා ඇත්තටම බොහීමියානුවෙක්ම විය හැකි ද? මිනිසා මෙසේ යැයි සම්මත කර හුවා දැක්විය හැකි ද? අවම වශයෙන් මට මාව අර්ථ දැක්විය හැකි ද?
නැත…
මම යන වාච්‍යාර්ථයම අබිරහසකි.
ඇය පිළිබඳ ආලය මා සිත ගිලන් කළ බව මම පිළිගනිමි. මා ඇයව පුදනු ලැබුවේ අල්තාරය මත තබන ලද්දා වූ පහනක් මෙන්ය. පූජාසනය මත හොවාලූ පුෂ්පයක් ලෙස ය. හෘද ගර්භය තුළ තැන්පත් කළා වූ මාණික්‍යයක් ලෙස ය.
ඉක්බිති මෙකී විප්රයෝගය හා මම මාගේ පූර්වතර හැඟීම් සසඳමි.
හදවතක් යනු අකමැත්තක් පිළිගැනීමට අතිශය මැලිවන්නා වූ සජීවි වස්තුවක් ය. එබැවින් හදවතට අවැසි දෙයම කළ යුතු ය. නැතහොත් හදවත ගිලන් වන්නේ ය. අජීවී බවට පරිවර්ථනයව මිලාන වන්නේ ය.
ඈ හා සම්බන්ධව පෙර කී මාගේ පූර්වතර ප්‍රේම හැඟීම අනුව ඇයගේ විප්රයෝගය මට මහා වේදනාවක් ගෙන දී ඇය වෙනුවෙන් මා ජීවිතය කැප කළ යුතු යැයි හැඟවිය යුතු ය. ඒත් හා සම්බන්ධිත වත්මන් තර්කන බුද්ධියක් මා සියල්ල අත්හැරිය යුතු බව හඟවයි. මා සියල්ල අත්හරින්නේ නම් ඈ සම්බන්ධව මා සතුව පෙර තිබුණේ සැබෑවටම ආලයක් ද? එසේනම් ඇයව පහසුවෙන් මා අත්හරින්නේ කෙසේ ද?
පිරිමි හිතක් යනු සංකීර්ණ පැටළුම් සමුදායකි. එය හරියට කෙලෙවරක් නොපෙනෙනා වංකගිරියක් වැනි ය. අත්‍යාභ්‍යන්තරයට යන්නට යන්නට තව තවත් අතරමං වනවා විනා නිදහසේ ආලෝක පුංජයක් හෝ දැකගත නොහැක්කේ ය. ඉතින් කළ යුත්තේ වංකගිරියටම හුරු වීමක් මිස ඉන් එහා සැපතක් ගැන සිතීම නොවේ.
මා පෙර කීවා සේම මාගේ සිත් වංකගිරිය තුළ මම ගමන් ගත් මඟ දැන් ද්විඛණ්ඩනයකට ලක්ව ඇත. මා මෙතෙක් ගමන් ගත් මඟ හෝ අළුත් මඟක් තෝරාගත යුතු ය. නමුත් මම දනිමි. කුමන මඟ තෝරාගත්තද මා තවමත් මේ පිරිමියා නම් වූ වංකගිරියේම සිරවී ඇති බව.
ආලය පිළිබඳව අපමණ සම්මතයන් ඇත්තෝ ය.
මිනිස්සු ආලයට බිය වෙති.
මන්දයත් ආලයත් සමඟ එන්නා වූ විප්රයෝගය යනු අධික මිලක් ගෙවිය යුත්තා වූ ගණුදෙනුවක් වන හෙයිනි. ආලය කරන්නෝ කවදා හෝ මේ ගණුදෙනුවේ පැටලෙන්නෝ ය.
මම විප්රයෝගය ජය ගන්නට සිතුවෙමි.
“ සහෝදරයා… පිරිමි පැරදෙන්නේ නෑ… පිරිමි පාඩම් ඉගෙනගන්නවා… “
නතාලියා පවසන්නී සමුධුර ගිලගන්නා රක්ත වර්ණ හිරු දෙස බලමිනි.
“ අත්දැකීම් හරියට ඉර වගේ… කාලයක් අහසේ රැඳිලා අතුරුදන් වෙලා යනවා… ආයෙත් නියමිත වෙලාවට නියමිත තැන මතුවෙනවා…“
මම බැස යන හිරු දෙස බලමි. ඒ අතරින් හෙට උදා වෙන නැවුම් හිරු සොයමි.
“ අපි දැනගන්න ඕනි ඉර තියෙන වෙලාවට ඉරෙන් වැඩ ගන්න… ඉර නැති වෙලාවට ඉරෙන් කරන්න පුළුවන් වැඩ ගැන සැලසුම් හදන්න…“
මම හිඳගෙනම සිටිමි. ඇය රේල් පාර දිගේ කෙළවරක් නොපෙනෙන අනන්තයට ඇවිද යන්නී නැවත හැරී නොබැලුවා ය. මම නැවතත් ක්ෂිතිජය දෙස බලමි.
හිරු බැස යද්දී පරිසරය රක්තවර්ණයෙන් සරසන්නේ ය. හිරු අහසේ මුදුන්වෙත්දී මෙතරම් සුන්දරත්වයක් නැත්තේ ඇයි? මේ හිරුගේ නික්මයාම නිසා අහසේ කම්පාව විය යුතු ය. මේ හිරුගේ විප්රයෝගය නිසා වළාකුළේ ශෝකය විය හැක.
නැතහොත්,
මේ හෙට උදාවන අළුත් හිරු වෙනුවෙන් අහසේ අපේක්ෂාව විය හැකිය. මේ හෙට උදාවන අළුත් හිරු වෙනුවෙන් වළාකුළේ උත්තමාචාරය විය හැකි ය.
ඇත්ත…
“ සහෝදරයා, දිනපොත් වල පිටු ඉවර වුණාට ජීවිතයේ රචනාව ඉවර වෙන්නේ නෑ…“