හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ

            ජීවිතයේ අනපේක්ෂිත දරාගත නොහැකි සිදුවීම් සිදුවුණාම අපි කියන එක් වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා. “ ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්…“ ඇත්ත. ජීවිතය පුදුමයි තමයි. පාඩුවේ ගලාගෙන යන සාමාන්‍ය ජීවිතය කියන සංසිද්ධිය “ පුදුමාකාර “ දෙයක් බවට පත් කරගත්තේ වෙන කවුරුවත්ම නෙවෙයි අපිමයි.

            තාරුණ්‍යයේ දඩබ්බරයා දිල්ශාන් පතිරත්න ලියපු “ හිතින් යන අය අතින් අල්ලා නවත්වන්නට බෑ “ කියන පද පෙළ අපේ ජීවිත වලට මොනතරම් සමීප ද? ඔබට මෙන්ම මටත් ඒ පදය අසීමිත ලෙස හදවතේ මුල් බැස ගත්තක්.

            මං මෙහෙම කියන්නම්. අපි සිහින වලින් තැනුන මිනිස්සු. මේ දේ මෙසේ විය යුතු යැයි පුංචිම පුංචි ආසාවකින් හෝ හිත සනසගන්න මිනිස්සු. ඒ නිසාම අපි අපිට “ලැබෙන දේවල්“ වලින් හිත සනසගන්නේ නෑ. අපි උත්සාහා කරනවා අර හීනය අපිට ලැබුණ දේ තුළින් සාක්ෂාත් කරගන්න.

            අතැම්විට ඔබට සිතෙනවා ඇති එහෙම කරන්නේ මහා “ කුහකයෝ “ කියලා. ඇත්ත. ඔබ වගේම මමත් එක්තරා ආකාරයකින් කුහකයෙකු තමයි. මොන මිනිහාද කැමති නැත්තේ තමන් ආසා විදියට ජීවිතේ විදින්න.

            මෙතෙක් වේලා මං උත්සාහ කළේ හීන ගැන කියන්න. හීන නිසා අපි ජීවත්වෙනවා කියන්න. හැබැයි මේ හීන සැබෑ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසාම ජීවිතය නිදහසේ ගලා නොයා හරිම “ පුදුමාකාර“ විදියට වෙනස් වෙන්නත් පුළුවන්.

            ඔතනදී කසුන් කල්හාරගේ ගීතයක නයනසේන වන්නිනායක හරි ලස්සනට මෙහෙම දෙයක් කියනවා.

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත 
සිතින් විතරක් එක්වෙලා 
අතීතය දෝතට අරන් අපි 
අහස් ගඟටම විසි කළා 
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

            මෙතනදී අපි එනවා ප්‍රේමය කියන මානුශීය කාරණයට. ප්‍රේමය තමයි හීන තනන හොදම වස්තු බීජය. ඒකනේ ප්‍රේමයට මේ තරම් අර්ථ කථනයන්, නිර්මාණයන් බිහි වෙලා තියෙන්නේ. ප්‍රේමයේත් විවිධාකාර වූ ප්‍රබේද තියෙනවා කියලා ඔබ දන්නවා. එතනදී වඩාත්ම හීන උත්පාදනය කරනා උල්පත වෙන්නේ ශෘංගාරික ප්‍රේමය එහෙම නැතිනම් විරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇතිවන්නා වූ ප්‍රේමය.

            ඔබ පාසල් ගිය සමය මොහොතකට සිහියට ගන්න. ඔබට සිටියා නේද “ මගේ කෙල්ල“ හෝ “ මගේ කොල්ලා “ කියා හිත ඇතුළේ තැන්පත් කරගෙන හිටපු ආලවන්තයෙක් හෝ වන්තියක්. අපි කතා කරන භාෂාවෙන්ම කිව්වොත් “ ක්‍රශ්“ එකක්. පාසල් කාලේ මේ ඒක පාර්ශ්වික ආදරේ හරි සුන්දරයි. හිත ඇතුළේ දහසකතුත් හීන මැවෙන අපූරුම අවධියක් තමයි මේ. අතැම්විට ඔබ හීන දකින්න ඇති ඔහු හෝ ඇය සමග දිවි ගෙවන අයුරු, පෙම් කෙළින අයුරු ජීවිතය ගොඩනැගුණේ අන්න ඒ බලාපොරොත්තුවත් සමගම. ඒ නිසාම හිමිවීම අහිමි වීම කියන කාරණය තුළ දෝලනය වෙමින් ඔබ මුහුණදුන් ඒ අත්දැකීම මෙතැන වචන වලින් කියන්න ඇත්තටම අමාරුයි නේ ද?

            මේ ඒකපාර්ශ්වික ප්‍රේමය කියන කාරණය පාසල් අවධියට පමණක් සීමා වෙලා නෑ. මෙය බොහෝ විට අතැමුන්ගේ ජීවන ගමන පුරාවටම බැදී පවතින දෙයක් වෙලා තියෙනවා අනන්තවත් ඔබ දැකලා ඇති. ඒක තමයි නයනසේනයන් කියන්නේ “ සැබෑ නොවනා හීන හරි මිහිරියි “ කියලා.

            අපි මොහොතකට හිතමු ඇයි මේ ඒකපාර්ශ්වික ප්‍රේමය සදාකාලික බැදීමක් බවට ඔබේ සිත ඇතුළේ නතර වෙලා තිබුණේ කියලා. උත්තරය මට දැනෙන විදියට මම මෙහෙම කියන්නම්. මන්ද මමත් ඒකපාර්ශ්වික ප්‍රේමයක එරිලා ඉන්න අයෙකු නිසාම.

            අර මම පෙර කිව්වා වගේම අපිව ජීවත් කරන්නේ හීන. මේ හීන වලට පුළුවන් අපිව අමුතු ෆැන්ටසියක් ඇතුළේ හිර කරලා තියන්න. උදාහරණයකට මනුරංගගේ සිතින් ඉපදුණ මේ පද පෙළ ගමු.

නා දල්ල වාගේ දිදුලනා 

මුතු හාදු වැස්සෙන් මා තෙමා

ඔය දෙතොල් අතරේ සිර වෙලා

මට ඉන්න ඇත්නම් තනිවෙලා

                මේ පද ටික ඇතුළේම තියෙන්නේ අපේක්ෂාවක්. පිරිමි වගේම ගැහැණු හැමෝටම හිතේ තියෙනවා තමන්ගේ සහකාරයා කෙසේ විය යුතුදැයි පූර්ණ නියමයක්. එහෙම වුණාම අපි හිත ඇතුළේ ඒ සහකාරයා සමග අපූරු දිවියක් ගොඩනගාගන්නවා. ශෘංගාරික ආදරයක් හීන ඇතුළේ මවාගන්නවා. අන්න ඒ ශෘංගාරික ආදරේට පෙනුමෙන් හරියටම ගැළපෙන පුද්ගලයෙකු අපිට කොහේ දී හෝ හමුවෙන්න පුළුවන්. අන්න එහෙම වුණාම හිත ඇතුළේ අර හීන සඵල කරගත යුතුයි කියන හැගීම ඇතිවෙලා අපි පිස්සු වැටෙන්න ගන්නවා. ඒක පාර්ශ්වික ආදරේ සදාකාලික වන්නේ අන්න එහෙම වුණාම.

            දැන් මොහොතකට සිතන්න ඔබ බලාපොරොත්තු වූ පෙම්වතා හෝ පෙම්වතිය ඔබට හිමිවුණා කියා. දැන් තමයි හීන සඵල කරගැනීමේ ආශාවේ කූටප්‍රාප්තියට අපි එළැඹෙන්නේ. අන්න ඒ නිසායි ගොඩාක් ආදර සම්බන්ධතා ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිල්ලා නැත්තට නැති වෙලා යන්නේ.

             මේ ලෝකේ මේ තරම් විරහා ගීත බිහිවෙන්නේ ඇයි කියලා ඔබ මොහොතකටවත් සිතුවාද? හිතන්න. ඒ හැම විරහා ගීතයක් ඇතුළේම තියෙන්නේ අර සඵල කරගත නොහැකි වුණ අපේක්ෂාවේ හෙවණැල්ල නොවේ ද? අර ළගා කරගන්න බැරිවුණ මිරිගුවක ශොකාන්තය නොවේ ද? ආශාව නොවේ ද?

            අපි හරි කැමතියි අපේ හීන වල ජීවත් වෙන සහකාරයාව තමන්ට සැබෑ ලෝකේ හිමිවුණ සහකරුවා තුළින් දැක ගන්න. ඒත් මිනිස්සු කියන්නේ එකිනෙකාට සාපේක්ෂ ජීවිත ගෙවන අය කියලා ආත්මාර්ථකාමී අපේම හිත් වලට ලේසියෙන් වටහා ගන්නට අමාරුයි. ඔබ ඔබේ සහකරුවා තුළින් ඔබේ හීන සැබෑ කරන්න උත්සාහා කරනවා වගේම එයාත් ඔයා තුළින් එයාගේ හීන සැබෑ කරගන්න උත්සාහා කරනවා වෙන්න පුළුවන්. එතකොට තමයි මම අර කලින් කිව්වා වගේම විරහාව ඇති වෙන්නේ. එකිනෙකට සමපාත නොවෙන හීන තියෙන දෙන්නෙක්ගේ හීන සමපාත කරන්න උත්සාහා ගැනීම තමයි හරියටම විරහව කියලා අර්ථ කථනය කරන්න පුළුවන් දේ.

            මං සරළ කතාවක් ගන්නම්.  

            ඔන්න එකමත් එක රටක හිටියා දුප්පත් කොල්ලෙක්. මේ කොල්ලාට ඕනි වුණේ ජීවිතේ හරි සරලව සතුටින් ගෙවන්න. මේ රටේම හිටියා කුමාරිකාවක්. හොදට සැපට හැදුණ කුමාරිකාවක්. දවසක් මේ කුමාරිකාව රාජ්‍ය සංචාරයක යෙදී සිටිද්දී දකිනවා මේ දුප්පත් කොල්ලාව. කුමාරිගේ හිත මේ කොල්ලට ක්ෂණිකව ඇදිලා යනවා. මේ කොල්ලාත් කුමාරිකාවගේ ලස්සනට වහ වැටෙනවා. ඉතින් හෙමින් හෙමින් ඒ දෙන්නා දෙන්නාට ආදරේ කරන්න ගන්නවා. ඔන්න එහෙම වෙද්දී මේ කුමාරිකාවට ඕනි වෙනවා මේ කොල්ලාව කුමාරයෙක් කරන්න. එයා අදින විදිය, කන විදිය, ඇවිදින විදිය මේ හැම දෙයක්ම වෙනස් කරන්න. මොකද මේ තරුණයාව තමන්ගේ තත්වයට ගැලපෙන්න හිටියොත් හොදයි කියලා මේ කුමාරි හිතනවා. නමුත් මේ තරුණයාට කවදාවත් ඕනි වෙන්නේ නෑ රදළ පැලැන්තියට පෑහෙන්න. ඒ කොල්ලාට ඕනි වුණේ තමන් වෙන්න. හැබැයි ඒ කොල්ලා ඒ කුමාරිට ආදරය කරනවා. හොදින් රැකබලා ගන්නවා. ඒ නිසා මේ කුමාරිත් කොල්ලාට ලෝබ කරනවා. ඒත් කුමාරිගේ හිතේ තිබුණේ හීන මානයක්. කොහොමද මේ තරුණයාව තමන්ගේ වංශවත් පිරිසකට පෙන්වන්නේ කියලා. ඔන්න ඔහොම ඉද්දී දවසක් කුමාරියගේ පෙරැත්ත නිසාම කොල්ලා හොදට ඇද පැළදගෙන යනවා වංශවත් සාදයකට. කුමාරිය සමග. මේ කොල්ලා මීට කලින් මෙහෙම තැනකට ගිහින් නෑ. යන්න හිතලාවත් තිබුණේ නෑ. ඉතින් මේ කොල්ලා එවැනි තැනක හැසිරීම් රටා දන්නෙත් නෑ. ඒ නිසාම මේ කොල්ලා කරන්නේ එයාට හිතුණ දේවල්. මේකෙන් කුමාරිය හරිම ලැජ්ජාවට පත්වෙලා මේ තරුණයාට දොස් කියනවා. ඒකෙන් තරුණයාගේ හිතේ තියෙන ආඩම්බරයත් නිසාම ඔහු කුමාරිය අත්හැරලා දානවා. නමුත් දෙදෙනා දෙදෙනාට ඇත්තටම ආදරය කළාලු. අදටත් කුමාරියගේ කදුළු ගංගාවක් වෙලා නොනැවතී ගලාගෙන යනවලු. තරුණයා හරිම නිහඩ අහසක් වෙලා ඒ ගංගාව දිහාම බලාන ඉන්නවලු.

            මං පෙර කීවා සේම මේක පොඩි සුරංගනා කතාවක්. නමුත් මම අර පෙර කීව හීන සමපාත කරගත නොහැකි වීම නිසා විරහාව බිහිවීමේ ඛේදජනක සංසිද්ධිය ඒ සුරංගනා කතාව ඇතුළෙත් තියෙනවා.

            පණ්ඩිත් අමරදේවයන් ගයනා විකසිත පෙම් පොකුරු පියුම් තුළින් කියන්නේ මේ අසම්පාත හීන නිසා වෙන්වුණ දෛවයන් දෙකක කතාවක් නොවේ ද?

හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ

ඉහ ඉද්දර ඉඳ ඉකි බිඳිනා සඳ

ආදර සැමරුම ප්‍රේම පුරාණේ

ඔබට විරහ ගිණි නොදැනේවා

            එහෙනම් මොහොතකට සිතන්න ඇයි විරහාව මේ තරම් දුකක් ගෙනෙන්නේ කියා. හරිම සරල උත්තරයක් දෙන්න පුළුවන්. “ ඔබ අධික බඩගින්නේ ඉන්න වෙලාවක ඔබ අතට ලැබුණ ආසම කෑම එකට ලුණු ටිකක් මිරිස් තුනපහ මදි වෙලා කටේ තියන්න බැරි වුණොත්?“ ආදරයත් අන්න ඒ වගේ. හීන කියන්නේ අර කියපු ලුණු, මිරිස්, තුනපහ ටික තමයි.

            හැබැයි මං මෙන්න මෙහෙම දෙයකුත් කියන්නම්. ලුණු, තුනපහ, මිරිස් කොච්චර අඩුවුණත් ඒ කෑම එක ඉවත නොදාන අයත් ඉන්නවා. ඇත්තටම ඒ මං අර කලින් කියපු හීන සමපාත කරන්න උත්සාහ කරලා අසාර්ථක වුණ තැන අනිත් කෙනාගේ හීනය තමන්ගේ කරගත්තු අය. අනිත් කෙනාගේ ආහාවන්ට ඉඩදුන් අය. අන්න එහෙම අයගේ ජීවිත අසාර්ථකයි කියන්න බෑ. ඒක සාපේක්ෂයි. නමුත් ඒකත් ආදරය කියන ජීවිතයේ එක්තරා දිගුවක්. තමන්ගේ හීන මරලා දාලා අනුන්ගේ හීනත් එක්ක ජීවත් වෙන එකෙත් අමුතු ආතල් එකක් තියෙනවා.

            මං ආයෙත් ආරම්භයට එනවා. මේ කතාව පටන් ගත්තේ දඩබ්බරයාගේ “ හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ“ කියන තනි පදයෙන්. ඇත්ත. හිතේ තියෙන අපේක්ෂාවන්, හීන හරියට සඵල කරගන්න බැරි වුණාම අපේ ළගම තියෙන අය හිතෙන් ඈත් වෙන්න ගන්නවා. අන්න එහෙම ඈත්වෙන අයව අතින් අල්ලාගෙන ළගම තියාගන්න කොච්චර උත්සාහ කළත් සිද්ධ වෙන්නේ තව තවත් ඈත් වෙන එක විතරයි. ඉතින් හිත කොච්චර වේදනා වින්දත් මම නම් කියන්නේ හොදම දේ ඔය ලුණු අඩු, මිරිස් අඩු, තුනපහ ටික අඩු කෑම එක අතාරින්න. අමාරුවෙන් කන්න යන්න එපා. හොදම දේ තව ටිකක් ඉවසන්න. ඉවසුවාම හරියටම මිරිස් තුනපහ ටික වැටුණ කෑම එකක් කන්න ලැබේවී. එදාට කවදාවත් අතින් අල්ලාගෙන තියාගන්නවා මිසක් ඒ අය හිතින් යන්න හදන එකක් නෑ.

            එතකොට අපිට දිල්ශාන් කිව්වා වගේ නැතුව ප්‍රේමකීර්ති ද අල්විස් කිව්වා වගේ මෙහෙම කියන්න පුළුවන් වෙයි.

අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්

ඉඩ ලබා ගනිමු තරමින් වියතක්

හඳ පානේ… මඳ අඳුරේ…

අත් පටලා යමු ආයේ…

ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී

මම මගෙ හෙවනැල්ලෙන් මිදී

අවුදින් හෙමින් රහසින් මුමුනා

හඳ පානේ මඳ අඳුරේ…

හිරකර හසරැල්ලෙන් හැඬුම්

අපි හිනැහෙමු සපුරා පැතුම්

මතු ආත්මයේ හමුවෙන පැතුමින්

යමු වෙන්වී හිමිදිරියේ…

©වාරා (10/26/2019)