ධූසරිතයෝ

ප්‍රස්ථාවනාව   

    ඈතට දිවෙන සරල රේඛීය රේල් පාර අද්දර මුහුදේ නොනවතින ඝෝෂාව දෙස බලමින් මම නැවතී සිටිනවා. හරි පාළුවක් දැනෙන ශුන්‍ය මුහුදක කෙළවරක් පෙන්වන ක්ෂිතිජ මායාව මත මගේ දෑස් නැවතිලා. බිදිලා යන රළ මුහුද සරහා එන සුළගට නතුව මම රැදී සිටි ගල් පොත්තට පනින්නේ හරියට පුංචි මැඩි රංචුවක් වගේ. මට දැනෙන්නේ සීතලක්. නමුත් මම එකම ඉරියව්වෙන් ක්ෂිතිජය දෙසම බලාගෙන.

“ ජීවිතේ කියන්නේ රේල් පාරක් මල්ලි… උඹ ඒක උඩ දුවන කෝච්චියක්. කෝච්චියට හිතුන හිතුන තැන් වල නවතින්න බෑ… නැවතිලා වැඩකුත් නෑ… කෝච්චි නවතින්නේ ඒවා නැවතිය යුතුම තැන් වල විතරයි… හැබැයි ඒ හැම නැවතුමක්ම තාවකාලිකයි…! “

ඒ ඔහු. අපි කතා කළේ නාත් අයියා කියලා. නාත් අයියා මට වඩා අවුරුද්දක් වැඩිමල්. නාත් මට ඒ දෙබස කිව්වේ මේ වගේම පාළු මූසල තැනක ඉදගෙන. මෙතන අඩුතරමේ එළියක් තියෙනවා. ලාවට හරි. එදා එතැන කිසිම එළියක් තිබුණේ නැහැ. තිබුණේ අපිට අපිවත් නොපෙනෙන ඝනාන්දකාරයක් විතරයි.

මං ඝනාන්දකාරයට හුරු වෙන්නේ නාත් හින්දා. නාත් කැමති එළියට නෙවෙයි අදුරට. නාත් කියන විදියට අදුර ඇතුළේ ඉද්දී තමයි අපි හරියටම දේවල් දකින්නේ.

“ අදුර කියන්නේ අපිව එක තැනකට කොටු කරවන දෙයක් නෙවෙයි මල්ලී. අදුර අස්සේ ඉද්දී තමයි අපි ආලෝකය උනත් හොයන්න පුරුදු වෙන්නේ. අදුර තමයි අපිට හරියටම පෙනීමක් ලබා දෙන්නේ… “

ආයෙත් ගල් පරයක බිදුණ සීතල මගේ ගත හොයාගෙන ආවා.

            “ මං ආසයි මුහුදු රළ දිහා බලාගෙන ඉන්න. මුහුද මාව අල්ලගන්න ළගටම ඇවිත් බිදිලා යන හැටි බලලා සතුටු වෙන්න… “

මේ මුහුද හැමතැනකටම පෙනෙන්නේ එකම විදියකට නෙවෙයි. හරිම වෙනස් විදියකට. රිතූ කියන්නෙත් මුහුදක්. හැමෝටම රිතූව එක විදියකට පෙනෙන්නේ නැහැ. ඒ නිසා බහුතරයක් වැඩිහිටියෝ රිතූ වගේ කෙල්ලන්ව දකින්නේ සක්කරවට්ටමක් විදියට. නමුත් අපි රිතූව දැක්කේ නිදහස සොයාගෙන යන කිරිල්ලියක් විදියට.

            “ මිනිස්සු කැමති අඩන්න… අඩන එක තමයි මිනිස්සුන්ගේ ආතල් එක… ඇත්තටම  කිව්වොත් අපි සතුටෙන් ගන්න ආතල් එකක් නෑ…“

රිතූ කැමති මොන විදියේ ජීවිතයක් ද කියලා රිතූවත් දන්නවා කියලා මම හිතන්නේ නෑ. රිතූ කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන කෙනක්.

නාත් අයියා කිව්ව විදියට අපේ ජීවිතය මේ රේල් පාර නම් මම ඒකේ දුවන කෝච්චියක් නම් මට ඇත්තටම තිබුණේ සීමිත නැවතුම් පළවල් ටිකක් පමණයි. හැබැයි නාත් අයියා කිව්වා වගේම ඒ හැම නැවතුමක්ම තාවකාලිකයි.

            “ ආදරය ඇතුළේ ජීවිතය දකින්න එපා බං… ජීවිතය ඇතුළේ ආදරය දැකපං… “

ආදරණීය කොටා. අපි ඌට කතා කළේ එහෙම. ආදරය කියන මාතෘකාව ඇතුළේ විදිය යුතු සියළුම කටුකත්වයන් විදපු කෙනෙක්. කොටාට අනුව ආදරයේ ආතල් එක තියෙන්නේ විදවන තැන.

අද…

නැවතුම් දහස් ගානක් පසුකරගෙනයි මම මේ එන්නේ. දැන් මම දුවනවා. නොනැවතී දුවනවා. මොකද මට සිදුවෙලා තියෙන්නේ පලා යන්න. මට විතරක් නෙවෙයි. අපි හැමෝටම. මොකෙන්ද අපි පළා යන්නේ.

අපි පළා යන්නේ අපේම ජීවිත වලින්.

මගේ කන පුපුරවන තරමට ශබ්දයකින් කෝච්චියක හූ හඩ ඇහුණා. මම බලාගෙන හිටියේ ක්ෂිතිජය දිහාමයි.

ක්ෂිතිජය අස්සේ මම ඔහුව දකිනවා. ඔහු මට සැලයුට් එකක් ගහනවා. මට ඇහෙනවා හුළග අස්සෙන් ඔහුගේ කටහඩ.

            “ පටන් ගත්ත දේ ඉවර කරපං මල්ලි…“

ඔව්…. කොච්චිය මාව පසුකරගෙන මහ හඩින් යකඩ කීරි ගස්සවමින් යද්දීත්, දොරේ එල්ලිලා යන මිනිසුන්ගේ මහා ඝෝෂාව යකඩ සිල්පර සද්ද අතරින් මතුව එද්දීත් දිගින් දිගටම හුළග මට අරගෙන ආවේ ඔහුගේ හඩ. මට කවදත් හුරු කවදත් මම කැමතිම ඒ හඩ.

ඒ වෙන කාගේවත් හඩක් නෙවෙයි.

අපේම නාත් අයියගේ හඩ.

කෝච්චිය මාව පසුකරගෙන ගියා. ලොවම නිසල කරමින් සුපුරුදු සමුද්‍ර ඝෝෂාව අස්සේ මාව තනි කරමින්.

කෝච්චිය…

මට කෝච්චිය ගැන තියෙන්නේ අමුතු මතක ගොන්නක්.

නාත් මැරුණේ කෝච්චියකට යට වෙලා. ඒ මීට අවුරුද්දකට කලින්.

මේ හැමදෙයක්ම පටන් ගන්නේ නාත්ගේ මරණෙත් එක්ක.

මතු සබැදි