Uncategorized

අතීතයේ මා පෙම්බැදි ලියන්ටයි…!

අතීතයේ මා පෙම් බැඳී ලියන්ටයි
මේ ගීය ගයන්නේ
හමු වී වෙන් වී මැද
ආදරයේ බැදීම් බිදීම් අතර ජීවිතේ
ළග නොරැදී රැදී නික්ම ගිය ඒ
සොදුරු ලියන්ටයි
මේ ගී ගයන්නේ මේ ගීය ගයන්නේ

කසුන් කල්හාරයන්ගේ මියුරු ස්වරයෙන් පණ ලබන ලද්දා වූ චාමින්ද රත්නසූරියගේ පැදි පෙළ මා කෙමෙන් අතීතයට ගෙන යන්නේ ය. මතක පද එකින් එක චිත්ත රූ මවන්නේ ය. නන්නාදුනන තැනක මාත් නොහදුනන ජීවිතයක කාන්සිය හෘද අභ්‍යන්තරය කෙමෙන් දවා හළු කරමින් ඇවිලීම අරඹන්නේ ය.

පුරා මාස ගණනාවක් මගේ පෑනින් පණ නොලද මේ අවකාශය සෙමින් අවදි කළ යුතුව අතැයි මම සිතමි. දයාබර පාඨකය, මා දනිමි මේ කාලය පුරාවටම ඔබ මා නොලියනා හෙයින් මා සමග අමනාප වී ඇති බව. ඉතින් මා මෙහි මකුළුවන් බැදි වියමන් කෙමෙන් ඉවත් කරන්නෙමි. වාරා කෙමෙන් අවදිවනු ඇත.

මේ ගෙවී ගියාවූ වසර විසි පහ තුළම මා ජීවිතයට ආවා ගියා වූ බොහෝ ය. ඉන් අතැමුන් සදාකාලිකව මා චිත්තාභ්‍යන්තරයේ නැවතී හතිලමින් සිටින්නෝ ය. අතැමුන් කොහේදැයි මා නොදනිමි. අතැමුන් සිටිනා තැන් දන්නාමුත් ඔවුන් දැන් නොහදුනනමි. සබද කාලය අපූරුය, එය අනීවාරතේ ගලා යන්නේ ය. නමුත් ජීවිතය එලෙස මෘදුව ගලා නොයන්නී, හැල හැප්පීන් මැද බාධක ගර්ජනා මත දුවන්නී, එකී සියල්ලේම මතකයන් භාවයන් ලෙස හෘදඅභ්‍යන්තරයේ නවතාලන්නී ය. නමුත් ඕ තවමත් දුවන්නීය. කාලයට අනුරූපීය.

ජීවිතයේ කිසිදාක සදාකාලික වූ හමුවීම් ඇතැයි මා විශ්වාස නොකරමි. සියළු හමුවීම් සිදුවිය යුත්තේ වෙන්වීමක ප්‍රස්තුතයක් ලෙසිනි. හමුවීම් වෙන්වීම් මැද ජීවිතය සුන්දරය. වෙහසක් නොවන්නේ ය. නමුත් මතක…. සබද එය වෙහෙසකරය.

චාමින්ද රත්නසූරියන්ගේ පද පෙළ මා කෙමෙන් ගෙනයන්නේ එක්තරා හමුවීම් විශේෂයකට ය. එනම් මා ජීවිතයේ මට හමුවූ ලියන් වෙතය. ඉන් ද මා පෙම්බැදි සුවිශේෂී ලියන් වෙතට ය. ඉතින් මේ ලියමන ඒ පෙම්බැදි ලියන් හටය.

මා දනිමි. ඔබ කොහේ හෝ සිට මෙය කියවනා බව. අතැම්විට ඔබද මා මෙන්ම ඒ අතීත මතකයන් දරා සිටිනවා විය හැකිය. අතැම් විට එය එසේ නොවී ඔබ අතීතය අතැර පියමන් කළා විය හැකිය. නමුත් මා දනිමි. ඔබ මෙය කියවනා බව. ඉතින් ලබැදිය. එන්න… සැරිසරන්න වියෝ මතක තුළ.

උදෑසන සූර්යයා අවදිවන්නේ යම්සේ ද ඔවුන් ද මා ජීවිතය කෙමෙන් උණුසුම් කරමින් මා සමීපයට ආවෝ වූහ. සූර්යයා බැස යන්නේ යම්සේ ද, ඔවූහූ එළෙස අන්ධකාරය ශේෂ කරමින් ජීවිතයෙන් බැස ගියෝ ය.

මේ සා වූ ආවා ගියෝ බැදීම් අතර මා වඩාත්ම ප්‍රේම කරන්නා වූ එක් ලියකි. ඈ කී යමක් මෙලසින් ලියා තබමි.

“ දවසක් එනවා අපි කොච්චර ආදරේ කළත් අපිට ඒ ආදරේ එපාම වෙන… ඒත් දාලා යන්නත් බෑ… වෙන විකල්පයක් ඇත්තෙත් නැහැ…“

ජීවත්වීම වනාහී අවශ්‍යතාවයන් තෘප්ත කිරීමකි. උක්ත කී අවශ්‍යතාවයන් අප සමග තෘප්ත නොවන්නේ නම් බැදීම් ලිහිල් වී යන්නේ ය. ආලය ද එසේය. එය කිසිදා නොකැඩී යන මහා කඹයක් යැයි ඔබ සිතුව ද දිනක එය දිරාපත් වී කැඩී යනු ඇත. මතක පමණක් රැදෙනු ඇත.

එක්තරා ලියක් වීය. ඈට අනුව ප්‍රේමය වනාහී අපගේ පැවැත්ම නොවන්නේ ය. ප්‍රේමය තෘප්ත කළ යුතු සමාජයීය අවශ්‍යතාවයන් ගණනාවකි. ප්‍රේමය වනාහී දෙහදක් තුළ ඇතිවිය යුත්තක් නොව උක්ත කී සමාජ අවශ්‍යතාවයන් ද තෘප්ත කළ යුත්තකි. දෙදෙනෙකුගේ එක්වීම කිසිදාක උන්ට ආවේණික නොවන්නේ ය. ඔවුන්ගේ එක්වීමට සාපේක්ෂව අන් අයගේ එක්වීම් වෙන්වීම් ද සැලකිය යුතු වන්නේ ය.

ශිලාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හැදින් නොමැකෙන ආදරේ නටබුන්
කුරුටු ගා..රුහිරෙන්…
ළග නොරැදී..රැදී…නික්ම..ගිය ඒ…
නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්…නිලසියන්ටයි..
මේ ගී ගයන්නේ…

අතීතයේ පෙම්බැදි ඒ ලියෝ මා හට එක් කළා වූ අත්දැකීම් අද ද මා එකින් එක ලිහමි. අතැම් ඒවා සුන්දරය. ප්‍රේමණීය ය. රාගීය. විරාගීය. එබැවින් ප්‍රේමය වනාහී එක් භාවයක් නොව භාවයන් ගණනාවකගේ සම්මිශ්‍රණයක් යැයි මා කියමි. ප්‍රේමය විදඇති ඔබද එය දන්නේ යැයි මා සිතමි.

අතීතයේ පෙම්බැදි අතැමුන් මට වෛර කරනා බව මම දනිමි. පෙම්බරිය, මා ඔබට වරදක් නොකියමි. ප්‍රේමයක් වේද එහි හටගන්නා වූ සියුම් හෝ වෛරයක් ඇත්තේ ය. එකී වෛරය වෛරයක් ලෙසින් නොව වෙනත් අයුරින් අර්ථදක්වමින් ප්‍රේමය හැලහැප්පීමෙන් යුතුව ගෙවා යන්නෝ බොහෝ වෙත්. නමුදු අපහට එය කළ නොහැකි විණි.

අප වෙන්ව යන මොහොතේ දී මා එක් ලියකට ලියූ යමක් මෙහි ලියා තබමි.

“නොගැලපෙන අදහස් කවදාවත් එකතු කරන්න බැහැ… එහෙම උනාම වෙන්නේ ඔයාගෙත් මගෙත් සතුට අපි දෙන්නට කැප කරන්න වෙන එක… අපිට අපි කොච්චර උවමනා උනත් අපිට අපේ නොගැලපීම් නිවැරදි කරගන්නට බැරි නම් වෙන්වෙන එක තමයි අපි දෙන්නාගේම සහනය… මං වැරදි ඇති… අනිත් අයට සාපේක්ෂව.. නමුත් මං වැරදි නැහැ… මට සාපේක්ව…“

සීතල කදුළකින්…ලියා…ලය රහසක්…
අපම අප..මුළු…අනන්ත නිමේශයක්…
විද දරා…හදවතින්..
ළග නොරැදී..රැදී…නික්ම..ගිය ඒ…
නිල්වනුන්..රන්ගනුන්..ළදලියන්…නිලසියන්ටයි..
මේ ගී ගයන්නේ…

ආදරණීය ලියනි, මා ඔබ හැර ගියේ ගතින් පමණය. ඔබ තවමත් ශිලාවක මතකයන් මෙන් මා නෙත් මායිමක රැදී තිබෙන්නේ ය. ළබැදිය, අප අත්හැරියේ අප නොව අපගේ තනි ගමන් මාවතය. ඔබ ඉදිරියට පා තබනා බව මා දනිමි. මා ද ඉදිරියට පා තබන්නෙමි. නමුත් අපට අපගේ මතකයන් කිසිදාක අත්හැරිය නොහැකිය. අප අත්හැරියේ යැයි සිතුව ද සියලුම මතකයන් අපේ හෘදඅභ්‍යන්තරය තුළ නිහඩව බලා සිටියි. නිසි වේලාව පැමිණෙන තුරු…

බ්ලොග් අවකාශයේ ලියවෙන්නා වූ සටහනක් තවදුරටත් දිගු කළ නොහැකිය. මුද්‍රිත පිටු මෙන් නොව තිරය දෙස බලා සිටීම ඔබගේ දෑස් වෙහෙසවන්නා වූ බව මම දනිමි. එබැවින් මාගේ මතකයන් තුළ සැරිසැරීම අදට මෙහි නවතමි. නමුත් ඒ මතකයන්ගේ ආවර්ජනය කළ යුතු දෑ අප්‍රමාණය. ඉතින් ළබැදිය, අප නැවත දිනක හමුවෙමු. ඒ අතීත මාවතේ රිදුම් දෙන මතකයන් එකින් එක ලිහා වේදනාත්මක තෘප්තියක් ලබමු.

©වාරා

3/14/2021

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s