(අ)ජීවී

අ(ජීවී)

පළමු හමුවීම

<<පූර්විකාව කියවීමට

ඇය මට හමුවන්නේ අහම්බයකිනි.

ලියනගේ අමරකීර්ති ශූරීන් සිය අහම්බකාරක කෘතියෙහි මෙලෙස සදහනක් තබා ඇතිවා මට මතකය.

අහම්බ සිදුවන තැන්වල කලින්ම සූදානම්ව සිටින්නට අපට හැකිනම් ප්‍රීතිමත් අහම්බ මාලාවක් තෝරාගෙන ඒවා සිදුවන විට ඒ අහම්බවලට බදුන්වීමට අපට පුළුවන. එනමුත් අහම්බ එසේ සිදු නොවේ.

එය සත්‍යයකි. ඇගේ හමුවීම හුදු අහම්බයකි. එය ජීවිතය මේසා පෙරලියකට ලක්කිරීමක් යැයි මා දැන සිටියේ නම් මා කිසිදිනක එකී අහම්බයට බදුන් නොවෙමි. එම අහම්බය මත පදනම්ව තවත් අහම්බයන් රාශියක් මා හඹා එන බව දන්නේනම් මා කිසිදිනක උක්ත කී අහම්බයට නතු නොවෙමි. නමුත් අහම්බ එසේ සිදුනොවේ.

තමන්ට දරාගත නොහැකි බරක් දරාගෙන බොහෝ අමාරුවෙන් හතිදමමින් සිය කාර්යය ඉටු කරනා අජීවී බස් රථය නැවතුමෙහි නතර කරනා මොහොතේ දී මා සිටියේ  සෑමදාම එකම තැන නැවතී ඇති තවත් අජීවි වස්තුවක සෙවණෙහිය. මෙය තැනූ මිනිසුන් තැනූ දා පටන් විටින් විට අළුත්වැඩියාට ලක්වුව ද තවමත් ස්වකීය පැරණි නින්දෙහිම ගිලී සිටිනා බස් නැවතුම සජීවී මිනිසුන් කොපමණ ප්‍රමාණයක හමුවීම් වෙන්වීම් අත්දැක ඇතිදැයි මම නොදනිමි. නමුත් එම බිත්ති සුසුම් හෙළනා බව මට එදා ඇසුණා වැනියැයි මට මතකය.

බසයෙහි දොරටුවෙන් බට මිනිසුන් කිහිපය අතර ඇයද වූවා ය. මහා මිනිස් සනුහරයක් මැද මිරිකෙමින් ඒ හේතුකොට ගෙන නැගුණා වූ අපහසුතාවෙන් පීඩාවට පත්වෙමින් දොරටුවෙන් බැසි ඈ අතිශය පිපාසාවෙන් සිටියෙකු වතුර බීමෙන් සැනසීමට පත්වන්නේ යම් සේ ද එතරම් සැනසීමකින් යුතු සුසුමක් පිට කරනු මම යකඩ අත්වැටට බරදෙමින් බලා සිටියෙමි.

මම එම මොහොත අවර්ජනය කරමි.

ඇය කුඩාය. වයසින් නොව සිරුරෙන්ය. ඇය සතුව විසල් දෑසක් ද පුළුල් නළල් තලයක් ද ඇති බව මම දකිමි. රෝස පැහැයත් රතුපැහැයත් අතරඇති ගවොමකින් සැරසී සිටි ඈගේ ගවුම පුරා විහිදි සුදුපාට රටාවන් මම දකිමි. ඡවි වර්ණ ඇගේ මුහුණේ ආලේපිත පුයර හිරු එළියට නතු වීමෙන් දිදුළමින් ඇගේ මුහුණ ඔබවත් කරනු මම බලා සිටියෙමි. එකී දිස්නය අතරින් රොසපැහැ පුළුල් දෙතොල්හි මන්දෝස්මිතියද මම දකිමි. ඇගේ හිස මත වූ කේශ කලාපය ඈ විසින් යම්කිසි රැදවුමක් යොදා විලාසිතාවකට සකසා ඇති බවද මම නිරීක්ෂණය කරමි. ඕගේ උරහිසින් රැදී පවතිනා රතු පැහැති බෑගයෙහි පටිය සිය දකුණතින් අල්ලා ගත්තී ඉන්පසු ඉදිරියට පා තබන්නට වන්නීය.

මා පළමුව ආකර්ශණය වූයේ ඇගේ කුඩා සිරුරට බව මම පවසමි. එය මාගේ මතකයේ හොදින් තැන්පත් වී පවතින්නේ ද එබැවින්ය. ඉන්පසු මා ක්‍රමයෙන් ඇගේ සුවිසල් දෑසට ආශා කරන්නට ගත් බව මට දැනුදු සිහිපත් කළ හැකිය.

කෙල්ලක දුටු විට සිත තුළට ඇතුළුවන ආකර්ශණය පිරිමි සිතකට නාදුනනා හැගීමක් නොවේ ය. එය ඕනෑම සුන්දර යුවතියක් දුටු විට පිරිමි සිතක් ඇතුළත දළුලා වැඩෙන්නේ ය. එය ආදරය යැයි පවසන්නේ නම් එය මුසාවකි. එය රාගය මත පදනම් වූ ජෛව රසායනික හැගීමකැයි මම සිතමි.

එවැනි හැගීමක් මා තුළ රෝපණය කිරීමට සමත් වූ යුවතිය මා පසු කර යන තුරුද ඉක්බිති ඕ මාගේ දෑස මානයෙන් ක්‍රමයෙන් ශේෂ වී යන තුරුද මම සදා නිශ්චල බස් නැවතුමේ සිට බලා සිටියෙමි. කිසිදු මොහොතක එතැනින් ඉවත්ව යාමට මට සිතක් පහළ නොවූ බව මා කිව යුතුය. මන්දයත් එම යුවතිය නැවත දිනක දකිනු ඇතැයි මා නොසිතූ බැවිනි. එබැවින් ඈ හඹා යෑමට මා සිත තුළ වූයේ දැඩි අලස බවකි.

ඔබට යමක් දිනාගැනීමට අවැසි නම් ඔබ එය හඹා යා යුතුයැයි මා කියවා ඇත්තෙමි. නමුත් මට යමක් දිනාගැනීමට අවැසි නොවීය. එබැවින් මම එතැන නැවතී සිටියෙමි. දිගටම නැවතී සිටියෙමි.

මතු සම්බන්ධයි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s