ධූසරිතයෝ

ප්‍රස්ථාවනාව   

    ඈතට දිවෙන සරල රේඛීය රේල් පාර අද්දර මුහුදේ නොනවතින ඝෝෂාව දෙස බලමින් මම නැවතී සිටිනවා. හරි පාළුවක් දැනෙන ශුන්‍ය මුහුදක කෙළවරක් පෙන්වන ක්ෂිතිජ මායාව මත මගේ දෑස් නැවතිලා. බිදිලා යන රළ මුහුද සරහා එන සුළගට නතුව මම රැදී සිටි ගල් පොත්තට පනින්නේ හරියට පුංචි මැඩි රංචුවක් වගේ. මට දැනෙන්නේ සීතලක්. නමුත් මම එකම ඉරියව්වෙන් ක්ෂිතිජය දෙසම බලාගෙන.

“ ජීවිතේ කියන්නේ රේල් පාරක් මල්ලි… උඹ ඒක උඩ දුවන කෝච්චියක්. කෝච්චියට හිතුන හිතුන තැන් වල නවතින්න බෑ… නැවතිලා වැඩකුත් නෑ… කෝච්චි නවතින්නේ ඒවා නැවතිය යුතුම තැන් වල විතරයි… හැබැයි ඒ හැම නැවතුමක්ම තාවකාලිකයි…! “

ඒ ඔහු. අපි කතා කළේ නාත් අයියා කියලා. නාත් අයියා මට වඩා අවුරුද්දක් වැඩිමල්. නාත් මට ඒ දෙබස කිව්වේ මේ වගේම පාළු මූසල තැනක ඉදගෙන. මෙතන අඩුතරමේ එළියක් තියෙනවා. ලාවට හරි. එදා එතැන කිසිම එළියක් තිබුණේ නැහැ. තිබුණේ අපිට අපිවත් නොපෙනෙන ඝනාන්දකාරයක් විතරයි.

මං ඝනාන්දකාරයට හුරු වෙන්නේ නාත් හින්දා. නාත් කැමති එළියට නෙවෙයි අදුරට. නාත් කියන විදියට අදුර ඇතුළේ ඉද්දී තමයි අපි හරියටම දේවල් දකින්නේ.

“ අදුර කියන්නේ අපිව එක තැනකට කොටු කරවන දෙයක් නෙවෙයි මල්ලී. අදුර අස්සේ ඉද්දී තමයි අපි ආලෝකය උනත් හොයන්න පුරුදු වෙන්නේ. අදුර තමයි අපිට හරියටම පෙනීමක් ලබා දෙන්නේ… “

ආයෙත් ගල් පරයක බිදුණ සීතල මගේ ගත හොයාගෙන ආවා.

            “ මං ආසයි මුහුදු රළ දිහා බලාගෙන ඉන්න. මුහුද මාව අල්ලගන්න ළගටම ඇවිත් බිදිලා යන හැටි බලලා සතුටු වෙන්න… “

මේ මුහුද හැමතැනකටම පෙනෙන්නේ එකම විදියකට නෙවෙයි. හරිම වෙනස් විදියකට. රිතූ කියන්නෙත් මුහුදක්. හැමෝටම රිතූව එක විදියකට පෙනෙන්නේ නැහැ. ඒ නිසා බහුතරයක් වැඩිහිටියෝ රිතූ වගේ කෙල්ලන්ව දකින්නේ සක්කරවට්ටමක් විදියට. නමුත් අපි රිතූව දැක්කේ නිදහස සොයාගෙන යන කිරිල්ලියක් විදියට.

            “ මිනිස්සු කැමති අඩන්න… අඩන එක තමයි මිනිස්සුන්ගේ ආතල් එක… ඇත්තටම  කිව්වොත් අපි සතුටෙන් ගන්න ආතල් එකක් නෑ…“

රිතූ කැමති මොන විදියේ ජීවිතයක් ද කියලා රිතූවත් දන්නවා කියලා මම හිතන්නේ නෑ. රිතූ කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන කෙනක්.

නාත් අයියා කිව්ව විදියට අපේ ජීවිතය මේ රේල් පාර නම් මම ඒකේ දුවන කෝච්චියක් නම් මට ඇත්තටම තිබුණේ සීමිත නැවතුම් පළවල් ටිකක් පමණයි. හැබැයි නාත් අයියා කිව්වා වගේම ඒ හැම නැවතුමක්ම තාවකාලිකයි.

            “ ආදරය ඇතුළේ ජීවිතය දකින්න එපා බං… ජීවිතය ඇතුළේ ආදරය දැකපං… “

ආදරණීය කොටා. අපි ඌට කතා කළේ එහෙම. ආදරය කියන මාතෘකාව ඇතුළේ විදිය යුතු සියළුම කටුකත්වයන් විදපු කෙනෙක්. කොටාට අනුව ආදරයේ ආතල් එක තියෙන්නේ විදවන තැන.

අද…

නැවතුම් දහස් ගානක් පසුකරගෙනයි මම මේ එන්නේ. දැන් මම දුවනවා. නොනැවතී දුවනවා. මොකද මට සිදුවෙලා තියෙන්නේ පලා යන්න. මට විතරක් නෙවෙයි. අපි හැමෝටම. මොකෙන්ද අපි පළා යන්නේ.

අපි පළා යන්නේ අපේම ජීවිත වලින්.

මගේ කන පුපුරවන තරමට ශබ්දයකින් කෝච්චියක හූ හඩ ඇහුණා. මම බලාගෙන හිටියේ ක්ෂිතිජය දිහාමයි.

ක්ෂිතිජය අස්සේ මම ඔහුව දකිනවා. ඔහු මට සැලයුට් එකක් ගහනවා. මට ඇහෙනවා හුළග අස්සෙන් ඔහුගේ කටහඩ.

            “ පටන් ගත්ත දේ ඉවර කරපං මල්ලි…“

ඔව්…. කොච්චිය මාව පසුකරගෙන මහ හඩින් යකඩ කීරි ගස්සවමින් යද්දීත්, දොරේ එල්ලිලා යන මිනිසුන්ගේ මහා ඝෝෂාව යකඩ සිල්පර සද්ද අතරින් මතුව එද්දීත් දිගින් දිගටම හුළග මට අරගෙන ආවේ ඔහුගේ හඩ. මට කවදත් හුරු කවදත් මම කැමතිම ඒ හඩ.

ඒ වෙන කාගේවත් හඩක් නෙවෙයි.

අපේම නාත් අයියගේ හඩ.

කෝච්චිය මාව පසුකරගෙන ගියා. ලොවම නිසල කරමින් සුපුරුදු සමුද්‍ර ඝෝෂාව අස්සේ මාව තනි කරමින්.

කෝච්චිය…

මට කෝච්චිය ගැන තියෙන්නේ අමුතු මතක ගොන්නක්.

නාත් මැරුණේ කෝච්චියකට යට වෙලා. ඒ මීට අවුරුද්දකට කලින්.

මේ හැමදෙයක්ම පටන් ගන්නේ නාත්ගේ මරණෙත් එක්ක.

මතු සබැදි

Posted in නාඳුනන්නෙකුගේ දිනපොත, වාරාගේ හුස්ම

නාඳුනන්නෙකුගේ දිනපොත #15

දිනපොතේ පෙර පිටුවට ⇒ නොවැම්බර් 18 – ඉරිදා

දෙසැම්බර් 10 – සදුදා

            මාරි කොරෙලි මෙහෙම කියලා තියෙනවා.

            “ ආදරය නිසාම ජීවත් වෙන්නට වටිනේද? ඒ නිසාම මිය යන්නට වටිනේද? ජීවත්වන කෙටිකාලය තුළ එහෙ මෙහෙ දුවන ඡායාවන් මැද අපට ග්‍රහනය කරගත හැකි සිත් පිනවන දෙය ආදරයම ද? අඳුරේ පොර බදන අපේ ජීවිත තුළ අප කරන කියන දෑ අතර පවතින එකම පහන් එළිය එයම ද? “

            මේ පණ ගැහෙන මොහොතක් පාසා අපි උත්සාහා කරන්නේ අපිට ඕනි දේවල් අපේ කරගන්න. මිනිස්සු එයට කියන්නේ ආශාව කියලා. ආශාව නැතිතැන ජීවිතයක් තියේවි ද?

            නිදහස් චින්තක බොහීමියානු ආකල්පයක් ඇත්තෙකු තුළද ආශාවක් රෝපණය විය නොහැකි ද? මා විසින් මටම බොහීමියානුවෙකු යැයි ආමන්ත්‍රණය කරන කල්හී මා ඇත්තටම බොහීමියානුවෙක්ම විය හැකි ද? මිනිසා මෙසේ යැයි සම්මත කර හුවා දැක්විය හැකි ද? අවම වශයෙන් මට මාව අර්ථ දැක්විය හැකි ද?

            නැත…

            මම යන වාච්‍යාර්ථයම අබිරහසකි.

            ඇය පිළිබඳ ආලය මා සිත ගිලන් කළ බව මම පිළිගනිමි. මා ඇයව පුදනු ලැබුවේ අල්තාරය මත තබන ලද්දා වූ පහනක් මෙන්ය. පූජාසනය මත හොවාලූ පුෂ්පයක් ලෙස ය. හෘද ගර්භය තුළ තැන්පත් කළා වූ මාණික්‍යයක් ලෙස ය.

            ඉක්බිති මෙකී විප්‍රයෝගය හා මම මාගේ පූර්වතර හැඟීම් සසඳමි.

            හදවතක් යනු අකමැත්තක් පිළිගැනීමට අතිශය මැලිවන්නා වූ සජීවි වස්තුවක් ය. එබැවින් හදවතට අවැසි දෙයම කළ යුතු ය. නැතහොත් හදවත ගිලන් වන්නේ ය. අජීවී බවට පරිවර්ථනයව මිලාන වන්නේ ය.

            ඈ හා සම්බන්ධව පෙර කී මාගේ පූර්වතර ප්‍රේම හැඟීම අනුව ඇයගේ විප්‍රයෝගය මට මහා වේදනාවක් ගෙන දී ඇය වෙනුවෙන් මා ජීවිතය කැප කළ යුතු යැයි හැඟවිය යුතු ය. ඒත් හා සම්බන්ධිත වත්මන් තර්කන බුද්ධියක් මා සියල්ල අත්හැරිය යුතු බව හඟවයි. මා සියල්ල අත්හරින්නේ නම් ඈ සම්බන්ධව මා සතුව පෙර තිබුණේ සැබෑවටම ආලයක් ද? එසේනම් ඇයව පහසුවෙන් මා අත්හරින්නේ කෙසේ ද?

            පිරිමි හිතක් යනු සංකීර්ණ පැටළුම් සමුදායකි. එය හරියට කෙලෙවරක් නොපෙනෙනා වංකගිරියක් වැනි ය. අත්‍යාභ්‍යන්තරයට යන්නට යන්නට තව තවත් අතරමං වනවා විනා නිදහසේ ආලෝක පුංජයක් හෝ දැකගත නොහැක්කේ ය. ඉතින් කළ යුත්තේ වංකගිරියටම හුරු වීමක් මිස ඉන් එහා සැපතක් ගැන සිතීම නොවේ.

            මා පෙර කීවා සේම මාගේ සිත් වංකගිරිය තුළ මම ගමන් ගත් මඟ දැන් ද්විඛණ්ඩනයකට ලක්ව ඇත. මා මෙතෙක් ගමන් ගත් මඟ හෝ අළුත් මඟක් තෝරාගත යුතු ය. නමුත් මම දනිමි. කුමන මඟ තෝරාගත්තද මා තවමත් මේ පිරිමියා නම් වූ වංකගිරියේම සිරවී ඇති බව.

            ආලය පිළිබඳව අපමණ සම්මතයන් ඇත්තෝ ය.

            මිනිස්සු ආලයට බිය වෙති.

            මන්දයත් ආලයත් සමඟ එන්නා වූ විප්‍රයෝගය යනු අධික මිලක් ගෙවිය යුත්තා වූ ගණුදෙනුවක් වන හෙයිනි. ආලය කරන්නෝ කවදා හෝ මේ ගණුදෙනුවේ පැටලෙන්නෝ ය.

            මම විප්‍රයෝගය ජය ගන්නට සිතුවෙමි.

            “ සහෝදරයා… පිරිමි පැරදෙන්නේ නෑ… පිරිමි පාඩම් ඉගෙනගන්නවා… “

            නතාලියා පවසන්නී සමුධුර ගිලගන්නා රක්ත වර්ණ හිරු දෙස බලමිනි.

            “ අත්දැකීම් හරියට ඉර වගේ… කාලයක් අහසේ රැඳිලා අතුරුදන් වෙලා යනවා… ආයෙත් නියමිත වෙලාවට නියමිත තැන මතුවෙනවා…“

            මම බැස යන හිරු දෙස බලමි. ඒ අතරින් හෙට උදා වෙන නැවුම් හිරු සොයමි.

            “ අපි දැනගන්න ඕනි ඉර තියෙන වෙලාවට ඉරෙන් වැඩ ගන්න… ඉර නැති වෙලාවට ඉරෙන් කරන්න පුළුවන් වැඩ ගැන සැලසුම් හදන්න…“

            මම හිඳගෙනම සිටිමි. ඇය රේල් පාර දිගේ කෙළවරක් නොපෙනෙන අනන්තයට ඇවිද යන්නී නැවත හැරී නොබැලුවා ය. මම නැවතත් ක්ෂිතිජය දෙස බලමි.

            හිරු බැස යද්දී පරිසරය රක්තවර්ණයෙන් සරසන්නේ ය. හිරු අහසේ මුදුන්වෙත්දී මෙතරම් සුන්දරත්වයක් නැත්තේ ඇයි? මේ හිරුගේ නික්මයාම නිසා අහසේ කම්පාව විය යුතු ය. මේ හිරුගේ විප්‍රයෝගය නිසා වළාකුළේ ශෝකය විය හැක.

            නැතහොත්,

            මේ හෙට උදාවන අළුත් හිරු වෙනුවෙන් අහසේ අපේක්ෂාව විය හැකිය. මේ හෙට උදාවන අළුත් හිරු වෙනුවෙන් වළාකුළේ උත්තමාචාරය විය හැකි ය.

            ඇත්ත…

            “ සහෝදරයා, දිනපොත් වල පිටු ඉවර වුණාට ජීවිතයේ රචනාව ඉවර වෙන්නේ නෑ…“

@වාරා

Posted in නාඳුනන්නෙකුගේ දිනපොත, වාරාගේ හුස්ම

නාඳුනන්නෙකුගේ දිනපොත #14

දිනපොතේ පෙර පිටුවට ⇒ ඔක්තෝබර් 30 -අඟහරුවාදා

නොවැම්බර් 18 – ඉරිදා

            සම්මතයන් හිත ඇතුළේ හැදුණම අපි වහල්ලු. සම්මතේ තමයි අපේ පාලකයා වෙන්නේ. ඇය නමින් වූ මගේ ආලයත් එක්තරා සම්මතයක්මයි. මේ සම්මතය බිඳලන්නට පෙරළියක් කළ යුතුම නොවේද? අරගලයක් කළ යුතු නොවේ ද?

            මම සිරවී සිටිමි.

            හිත් ඇතුළේ පුංචි හිරකූඩුවක් හදාගෙන ඒ කූඩු ඇතුළටම වෙලා අපි වේදනා විඳිනවා. සමහරවෙලාවට ඒ කූඩුවේ යතුර ඔබ ළඟම තිබුණා විය හැකියි. නමුත් ඔබට කිසිම මොහොතක අවශය වෙන්නේ නැහැ ඒ කූඩුව හැරදාලා යන්න. මන්ද ඒ කූඩුව තියෙන්නේ ඔබේ හිත ඇතුළේම හින්දා.

            ඇය දන්නවා මා ඇය ලුහුබඳිනා බව. එබැවින් ඇය වෙනදාටත් වඩා මා වෙත හෙළනුයේ ප්‍රකෝපකාරී බැලුම්.

            යුවතියක මෘදු හද ගැස්මක් සවනතකට වැටිය හැකිනම් පිරිමියෙකු කෙතරම් ආහ්ලාදයක් ලබනු ඇතිද..? නමුත් මෘදු හද ගැස්මකට සවන් දෙනු වෙනුවට එම යුවතියකගේ කෘර බැල්මකට යටත්වන්නට සිදුවන්නේ නම් පිරිමියා කෙතරම් පීඩාවකට යටත් වන්නේ ද?

            අහෝ කෙල්ලනි….! තොපට මේවා නොතේරේ…!!!

            මිනිස් හදවතක් කිසි දිනක ප්‍රතික්ෂේපය පිළි නොගනී. එහි පතුළටම කිමිද බැලුවත් කිසිඳු දිනක ප්‍රතික්ෂේපය සාධරණීකරණය කරනවා විනා මිනිසා ප්‍රතික්ෂේපයට අවනත නොවන්නේ ය. ආලය නම් වූ විශය පථය තුළ ප්‍රතික්ෂේපය යනු බරපතළ කාරණාවකි. බොහෝ විට ප්‍රතික්ෂේපය, ප්‍රතික්ෂේප කිරීම ආලය තුළ සිදුවන්නකි. එබැවින් බරපතළ චිත්තපීඩා ගොනුවීම හේතුකොටගෙන ආලය කෙලවර වීම් සිදුවේ.

            ආලය තුළ ජයග්‍රාහකයෝ වෙත් ද?

            නැත… අප හැමෝම ආලය හේතුකොටගෙන පරාජයට ලක්වූවෝ වන්නෙමු. තම සිතැති පුද්ගලයා තමා නතු කරගත් පමණින් ආලය ජයගත්තේ යැයි පවසන්නේ නම් ඔහු සිටින්නේ මුලාවක ය. මන්දවත් ආලය යනු අවිනිශ්චිත සූදුවක් වන හෙයිනි. ඔබ කවදාහෝ කුමන ආකාරයකින් හෝ ආලයෙන් පරාජය වෙනු ඇත.

            ජැක් රෝස් හෝ රෝමියෝ ජුලියට් කිසිදිනක ආලය දිනුවෝ නොවෙති. උන් මල ගියෝ ය. උන් පැරදුණෝ ය.

            “ ඒකිව අතෑරපන්…“

            මම දනිමි. ඔවුන් නිවැරදි බව. මම එය ඇසුවෙමි. මම එය දුටුවෙමි.

            “ ඒකිට කොල්ලෙක් සෙට් වෙලා…“

            ප්‍රතික්ෂේපය තුළ ඇති තවත් යමක්නම් අපේක්ෂාවකි. ඇය මා ප්‍රතික්ෂේප කළේ ඇගේ සිතෙහි වූ අපේක්ෂාවට මුල් තැන දීමට ය. මා ඈගේ ප්‍රතික්ෂේපය නොපිළිගත්තේ මාගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇති අපේක්ෂාවට නතු වී ය.

            ප්‍රතික්ෂේපය… අපේක්ෂාව… ජයග්‍රාහණය… පරාජය… ආලය….

            ආලය බලවත් ය. සිත ගිලන් කරන සුළු ය.

            “ කෙල්ලෙක් අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ…?“

            “ ජීවිතය…“

            මා නතාලියා සමඟ තර්ක නොකරමි.

            කළු රෝස මල සොයනා ජීවිතය කුමක් විය හැකි ද? ඒ ජීවිතය ඔහුට ලබා දිය හැක්කේ කෙසේ ද? එය මා තුළ නොතිබී ඔහු සන්තකයේ පැවතුණේ කෙසේ ද?

            තනි සිත් රාත්‍රියට බිය වෙති.

            රාත්‍රිය යනු හැඟීම් අවදි කරනා උත්තේජනයකි. විරහවේ ස්වර වැයෙනා ගීයකි. ඉතින් හදවත් ඇත්තෝ රාත්‍රිය තුළ සිරවෙති. කිදුරංගනාවන්ගේ ගීතයට වශීවන සේලරුවන් මෙන් තමන්ගේම චිත්ත වේදනා තුළ ගිලෙති.

            මිය ගියා වූ අප්‍රකාශිත ප්‍රේමයක් යනු කිසිඳා සුව නොවනා තුවාලයක් ය. එය හෙමි හෙමින් පෑරෙන්නේ ය. එක් තැනකින් ඇරඹී රුධිරයට කා වැදෙමින් සියුම් කටු කැබලිති සිරුර පුරා රැගෙන යන්නේ ය. හදවත මත්තේ මහා බරක් තබන්නේ ය. තුවාලය පෑරෙන්නේ මුළු ආධ්‍යාත්මයම ගිලන් කරමින්ය.

            සිතැඟි යනු හිත් අභ්‍යන්තරයේ තැන්පත් කර තබාගත යුතු නිධානයක් නොවන්නේ ය. සිතැඟි නොවලහා ප්‍රකාශ කළ යුතුම ය. නැතිනම් ආහාරයක් පාර්සලයේ ඔතා තිබුණාක් මෙනි. පිළුණු වී ගඳ ගසන්නේ ය. මා ඇයට ආලය ප්‍රකාශ කර තිබුණා නම් හද ගැස්ම අද මෙතරම් බර නොවෙන්නට තිබුණි.

            මම නොදනිමි.

            යමෙකු මාගේ ආදර කතාව ආඛ්‍යානයකට පෙරළුවේ නම් රචකයා මෙම ප්‍රේමය උපන්ගෙයි මලගිය බිළි‍ඳ‍ෙකු ලෙස නම් කරනු ඇත. එලෙස මියගියානම් මෙතරම් චිත්තපීඩාවක් දැනෙන්නේ මන්ද..?

            විපුළ සහෝදරයා දිනක් මෙසේ පැවසීය.

            “ සහෝදරයා මල උන් කතා කරනවා…. හිත් වලට…“

@වාරා 

දිනපොතේ ඊළඟ පිටුවට ⇒ දෙසැම්බර් 10 – සදුදා