විකාරෙට ලියවෙන විකාර

බොහෝ විට මානුශීය චින්තනයන් අවදි වන්නේ මහ රෑට ය. දහසක් ඔළුවේ බර පිරී ඇති විට ය. එහෙම වෙලාවට කොහේ හෝ ඈතක තියෙන “දෙයක්“ දෙස හිස් බැල්මෙන් බලන්න මම පුරුදු වී ඇත්තෙමි. එවිට මාගේ චෛතසිකය පුරාවටම පිරී තිබෙනා දහසක් පීඩාවන් මොහොතකට අවරගිරෙන් බැස යයි. නමුත් මා දෑස් ඉවතට ගත් විට දියෙහි ලූ රබර් බෝලයක් නැවත දිය මතුපිටට ඉලිප්පී එන්නේ යම් සේ ද මාගේ හිස තුළ ඇති අධික වගකීම්, පීඩාවන්, කාර්යභාරයන් මෙන්ම අධ්‍යන කටයුතු ද මාගේ හිස අත්පක් කරගනු වස් ආක්‍රමණය කරන්නෝ ය. ඉන් උන් ජය ගන්නෝ ය. එබැවින් ඈත හිස් අවකාශයක් දෙස මධ්‍යම රාත්‍රියේ බලා ආ ඇසිල්ලෙහි මම මෙය ලියා තබමි.

මිනිසෙකු වූ විට ඌට යම්තාක් හෝ සැනසීමක් තිබිය යුතුම ය. එහෙම දේවල් ජීවිතයට ලැබෙන්නේ පෙර කළ පින් අනුව හෝ දෛවය අනුව හෝ බඹා කොටා ඇති විදියට යැයි යමෙකු කියන්නේ නම් මම එයට අභියෝග කරමි. අතැම් විට ඔය කියන දෛවයානුරූපී දේවල්ම සැනසීම නැති කරනා දෙයක් විය හැකි බව මම අත්දැකීමෙන් දත් හෙයිනි.

කොටින්ම මා මේ ලියන ඇසිල්ලේ ද මට කරන්නට දහසකුත් රාජකාරී ඔළුව වට කරකැවෙන්නට ආසන්න ය. ඒ නිසා මා මෙය ලියන්නේ ද ලහි ලහියේ ය.

පෙර කී සැනසීම මිනිසෙකු සතු විණි නම් ඔහුගේ පරිකල්පනයන් නිදහසේ මෙහෙයවිය හැකිය. මා මෙලෙස කියන්නේ එවන් අතීතයක් මට ද තිබුණ බැවිනි. සැනසීම වනාහී චිත්තාභ්‍යන්තරයෙන් නැගෙන ප්‍රමාණික සන්තෘෂ්ඨියකි. එහිද සීමාවන් ඇත. නමුත් සැනසීම වනසන වගකීම නම් සීමා විරහිත වේදනාවක්ම ය.

මේ ලිපියේ අරමුණ කුමක්දැයි නොසොයන්න. මේ හිතේ ඇතිවූ ඇසිල්ලක නිමේෂයේ මනස වසාලන්නට එන මාර සේනාවන්ගෙන් මිදී තිබුණා වූ තත්පරයක අනීවාරතේ ලියවෙන්නක්ය. මෙය පුස්සක් විය හැකිය. මන්ද මම මෙය නැවත කිසිම මොහොතක නැවත කියවීමක් නොකරන හෙයිනි.

මිනිසා යනු වගකීම් නැමැති රැහැනින් බැද දමා ඇති බැටළුවෙකි. ඌ තණ උලා කමින් නිදහසේ යා හැකි යැයි සිතා සිටින මුත් එක්තරා අවස්ථාවක කෙළවරකට පැමිණ තමන්ගේ සීමාව වටහා ගනියි. ඇතැම් බැටළුවෝ කවාකාර ප්‍රෙද්ශයක් තුළ තණ උනා කමින් යන්නෝ වෙන අතර උන් සිරවී ඇති බව උන්ම නොදනී.

ඇතැම්විට මේ සියළුම වගකීම් මා හට අවශ්‍යම වගකීම් දැයි මම සිතමි. එවිට මම දෙයක් වටහා ගනිමි.

මේ රැහැන අල්ලා ගනිමින් මගේ සීමාව තීරණය කරනා දහසකුත් දෙනා සිටින බවය.

මම ඉගෙන ගන්නේ මට ඕනි නිසා නොවේ ය. සමාජයට ඕනි නිසා ය. සමාජය සෑදූ නිර්ණායකයන් මත පදනම්ව මගේ ජීවන ගමන පෝෂණය කිරීමට ය. මාගේ පවුල් සංස්ථාව විසින් හුදෙක් ඒ චින්තනය මා තුළ රෝපණය කර ඇත. ඔවුන්ගේ අපේක්ෂාව මා ය. ඉතින් මා ඔවුන්ගේ රැහැනේ පැටලෙමි.

මගේ වටා සිටිනා දහසක් දෙනෙකු මගෙන් අපේක්ෂා කරනා දහසකුත් දේවල් ඇත. උන් සෑම දෙනෙකු අතම මාගේ ගෙලට ඈදූ රැහැනක් ඇත. උන් ඒවා විටක කෙටි කරමින්ද විටෙක දිග හරිමින් ද මා තණ උලා කෑමට යවති.

මම මොහොතකට සිතමි.

මේ රැහැන මාගේ ගෙලෙහි නැතිනම්…

පොඩි කාලේ නංගීගේ පාසලේ දී ඇයට ලබා දී තිබූ පත්‍රිකාවක සදහන් වූවක් මට මෙහිදී සිහිවේ.

“ මට මම ම වෙන්න ඉඩ දෙන්න…?“

ඔව්… මට ඕනි මම වෙන්න…

ඒත්… මම යනු කව් ද?

සමාජය විසින් නීර්ණය කළ ‘‘මම‘‘ කෙනෙක් ඇත. ඇත්තටම මා විය යුත්තේ ඒ මම ම ද? නැතහොත් වෙනත් මම කෙනෙක් ද? එය සිතන්නටද මගේ සිතේ නිදහසක් නැතිය. කොටින්ම මට මාවම සොයා යා නොහැක. මන්ද රැහැන මා නතර කරන හෙයිනි. රැහැනේ සීමාවෙන් එහා ලොවක් ගැන මට සිතිය නොහැකි ය.

නමුත් මම දිනක දෙයක් කරමි..

රැහැන කඩාගමි.

එවිට මට අහිමිවිය හැකි දෑ බොහො යැයි මම දනිමි.

නමුත් ඒ අහිමි වන්නා වූ දහසකුත් පුද්ගලයින්, දහසකුත් භෞතික වස්තූන්ටත් වඩා මට වටිනාතම සැපතක් හිමි වනු ඇත.

ඒ මාව ම සොයා යෑමයි.

ඔබට ඔබ හමු වී නම්,
 ඔබට මා අවැසි නැත…
 මට මම ම හමු වී නම්…
 මට ද ඔබ අවැසි නැත..“

ඇයව තෝරමි… හැගීම් මරමි…

මම මලානික වෙමි.

මා හට ජීවිතයක් පවතී ද? ඒ ජීවිතය මම පතනා ජීවිතයම විය යුතුම ද?

බොහෝ විට ජීවිතය මෙයාකාර විය යුතු යැයි මගේ සිත කියයි. ඉතින් ඉපදුණ දා පටන්ම මා හට සිහින දකින්නට හැකියාව ලැබුණු මොහොතේ සිටම මා මාගේ ජීවිතය කෙසේ සකස් විය යුතු දැයි සිහින දැක ඇත්තෙමි. සිතන්නට පුරුදු වූ දා පටන් මගේ ජීවිතය කෙලෙසක ගොනු විය යුතු යැයි පිඹුරුපත් සැකසූවෙමි.

ඉක්බිති මා තරුණයෙකු වීය.

යොවුන් වියට එළඹෙත්ම මට මහා ලොකු ජීවන සැලසුම් තිබුණේ නැත. තිබුණේ අතිශය අල්ප වූ ආශාවන් සමුදායකි. ඒ අතර මා සිතේ ගැඹුරින්ම තැන්පත් වූ ආශාවක් ද වීය. ඒ ආශාව බීජයක්ව රෝපණය වී කෙමෙන් කෙමන් අතුලියලමින් රූස්ස ගසක් බවට පත් වීය.

මම කොල්ලෙක් වෙමි.

කොල්ලෙක් වන මා හට මාගේ ප්‍රේමය කෙලෙසක විය යුතුදැයි අපේක්ෂාවන්ගෙන් සැදුම් ලත් අපේක්ෂාවේ වෘක්ෂයක් ඇත. මා පෙම් කරනා යුවතිය මෙලෙස විය යුතු යැයි මගේ සිත තුළ සම්මතයන් ද ඇත.

ඇය පිරිපුන් විය යුතු ය. සුළගට සැලෙන දිගු කෙස් කළඹක හිමිකාරියක් විය යුතු ය. දිගු නුවනකට උරුමකම් කිවිය යුතු ය. පුළුලුකුළක් තිබිය යුත්තා සේම පිරිපුන් පයෝධරයන් ද තිබිය යුතුම ය. එමෙන්ම මා හට ඔසවා ගත හැකි තරම් කුඩා විය යුතුය. ඇය පැහැපත් සිත්ගන්නා සුළු යුවතියක් විය යුතුමය. මියුරු කටහඩක් ද ඒ හඩට අනුකූල වූ දගකාර කතාබහක්ද ලගන්නා සුළු ප්‍රේමණීය ස්වරයක්ද තිබිය යුතුය.

ඒ ඇගේ පෙනුමය.

මේ ඇගේ ගති ලක්ෂණය.

ඇය දගකාරියක් විය යුතු ය. සියළුදෙනාට අහිංසකාවියක් නොවිය යුතුය.  නමුත් ඇය වාචාලියක් නොවී ප්‍රේමණීය සිතැත්තියක් විය යුතු ය. තැනට ඔබින නුවණක් සහ ප්‍රේමණීය මදහසක් තිබිය යුතු ය. මිතුරන්ට ප්‍රිය විය යුතුය. සමාජශීලී ක්‍රියාකාරී කෙල්ලක විය යුතු ය. නවීන විලාසිතාවන්ගේ ප්‍රතිමූර්තියක් විය යුතුමය.

එවැන්නියක් හමුවුවහොත් ඈ සමග කරනා දේවල් දහසක් මගේ සිතේ ඇත.

මම ඇය සමග දෑත් පටලා ගව් ගණං ඇවිදින්නෙමි. සද නැගී තරු දිලෙන රැය එළැඹෙන තුරු ඇය හා පෙම්බස් දොඩමි. කිසිවෙකුත් නැති නිසසල ගංඉවුරක ඇයව තුරුළු කොට ගනිමි. නිල්වන් අහස් වියනක් යට සිට ඇය සිපගනිමි. ඇගේ දෙතොල් මත හාදු අතුරමි. ලා තණ බිස්සක දිගෑදී ඇගේ සවනට කොදුරමි. ඇය සමග ජීවිත සැලසුම් තනමි. ඇයට තුරුළුව මාගේ සියළු පීඩාවන් පවසා සැනසෙමි. ඇගේ දෑස් අග උනනා කදුලැලි දෑතින් පිස දමමි. ඉඩක් වේ නම් ඇගෙන් සියුම් පහසක් ලබමි. ඇයට හැගෙනා තුරු ඇයව ස්පර්ශ කරන්නෙමි.

මා ඇය සමග අනීවාරතේ ඇවිද යන්නට හෝ කොහේ හෝ නිසසල තැනක සිට ඇයට පෙම්බස් දොඩන්නට ආශා කරන්නෙමි. මේ මගේ පෙම්වතිය යැයි ලොවට පෙන්වන්නට ආශා කරමි. ඇය මගේමයි කියා අන් අයට දැන්වීමෙන් මම අසීමිත ප්‍රීතියක් විදිමි. ඇයට අඩවන්නට සිතක් නම් නැත. නමුත් ඇයට තරවටු කරන්නට ආශා කරමි. ඇය මා කියනා දෙය අසනා කීකරු යුවතියක්ව සිටී නම් මම ඇයට අපමණව පෙම් කරමි. ඇය මගේ තුරුළේම තබා ගන්නෙමි.

මේ සිහින තැන්පත් වන්නේ මගේ සිත තුළම ය. මගේ සිත් අභ්‍යන්තරේ මේවා තව තවත් පෝෂණය වෙයි. දෛනිකව එයට අළුත් පෙම් ජවනිකාවක් එක් වෙයි.

මොහොතකට  සිතන්න. මා බොළද පෙම්වතෙකු ද?

මම මා ගැනම සිතමි. නැත… මේ අහිංසක කොල්ලෙකුගේ සිහින ප්‍රාර්ථනාවන් පමණකි.

කෙල්ලෙකුගෙන් කොල්ලෙකු මවක් හෝ සහෝදරියක් හෝ මිතුරියක් බලාපොරොත්තු නොවේ. මා හට අවැසි පෙම්වතියක් ය. පෙම්වතිව වනාහි මිතුරිය සීමාවෙන් ඔබ්බට ගිය අයෙක් විය යුතු ය. එහිදී ලිංගිකත්වය මුසු වූ රෝමාන්තික අපේක්ෂාවන් බහුලය. ඒවා සංතෘප්ත නොවන්නේ නම් ඒ පෙම්වතිය තුළින් සැනසීමක් ලද හැකි දැයි මගේ සිත නැවත නැවතත් මුරගානු ඇසේ.

මාගේ ජීවිතයට එක් සදක් පායන ලද්දේ ය.

මා පෙර කීවා සේම මා ආලය තුළ සිහින මාළිගා දහස් ගණනක් තනා ඇත්තෙක්මි. එබැවින් උක්ත කී පෙනුම සහ ගතිගුණයන් සංතෘප්ත කරනා යුවතියක් මගේ ජීවිතය අරක් ගත්තේ මා ඇය කෙරෙහි පිස්සු වට්ටවමින්ය. දැන් මා හට ඇගෙන් තොර ලෝකයක් නොමැත. ඇයද මා කෙරෙහි ඇලී සිටින්නී යැයි මට සිතේ. ඇය එලෙසින්ම මට පවසන්නීය. ඉතින් මම සිතමි. ඇයට මා නැතුවම බැරිය. ඇය මට අසීමිතව පෙම් කරන්නීය.

ඒත් මිනිසා සියයට සියයක් තෘප්ත කළ නොහැකිය.

ප්‍රේමයක් පූර්ණ වශයෙන් සදාකාලික වීමට නම් ඔවුනොවුන් අතර අවබෝධය පුළුල් විය යුතුය. ගැහැණිය පිරිමියාට ද පිරිමියා ගැහැණියගේ ද ආශාවන් තෘප්ත කළ යූතු මය.
 මෙකී ආශාවන් මා ලිංගිකත්වය සහා රෝමාන්තික චිත්ත වේග අනුව බෙදා සළකන්නම්…
එසේ නම් ඇය මා සිතේ උක්ත කී කරුණු ද්විත්වයම පිළිබදව ධනවාදී ආකාල්පයක් ඇති කළ යුතුමය.

මම උත්සාහ කරමි. මා ආසා කරනා රෝමාන්තික පරිසරය ඇයට ලබා දීමට මම හැකිතරම් උත්සාහ කරමි. මම ආශා කරන්නේ ඇයව ප්‍රේමයෙන් නහවා සදාකාලිකවම සතුටේ තැබීමට ය. ඒ සදහා මා හට කැප කළ හැකි ඕනෑම යමක් වේ ද මම එය කැප කරන්නට සූදානම් වෙමි. මන්දයත් ඇය යනු මගේ ජීවිතය වන බැවිනි.

නමුත් යුවතියක් ලෙස ඇයටත් යුතුකමක් තිබිය යුතු ය. ඇය මන්දගාමී හෝ හැගීම් විරහිත ජීවිතයක් ගත කරන්නේ නම් පිරිමියෙකු ලෙස මා කෙලෙස ඇයව සනසම් ද? මා කෙලෙස තෘප්තිමත් ජීවිතයක් ගෙවම් ද?

බොහෝ විට පිරිමියෙකු ගැහැණු ඇසුරක් තුළ පතනා දහස් සංඛ්‍යාත ආශාවන්ගෙන් තෘප්ත වන්නේ කිහිපයක්ම පමණක් විය හැකිය. එය පිරිමියෙකුට නම් මහා විසල් ධනස්කන්ධයක් වැනිය. යුවතියකටත් එය එසේම විය යුතුමය.

නමුත් මා අසරණව සිටිමි.

හැගීම් සිරකරගනිමින් පීඩිතව වේදනා විදින්නෙමි.

ඒ වේදනාවන් විටක පුපුරා යන කළ ඇයව වේදනාවේ ගිල්ලවීමෙන් මම මොහොතකට වියරු වෙමි.

නැවතත් ඈ කෙරේ මා සිතේ තිබෙනා ප්‍රේමයෙන් මම පසුතැවෙමි. ඵීඩාවට පත් වෙමි.

අහෝ ජීවිතය…! ඔබ කවදාවත් සර්වසම්පූර්ණ නොවන්නේ මන්ද?

ඉතින් තීරණයක් ගන්නෙමි.

මා හට වටින්නේ හැගීම් ද? ඇයව ද?

මම ඇයව තෝරා ගන්නෙමි.

හැගීම් මිහිදන් කරමි.

Posted in නාඳුනන්නෙකුගේ දිනපොත, වාරාගේ හුස්ම

නාඳුනන්නෙකුගේ දිනපොත #15

දිනපොතේ පෙර පිටුවට ⇒ නොවැම්බර් 18 – ඉරිදා

දෙසැම්බර් 10 – සදුදා

            මාරි කොරෙලි මෙහෙම කියලා තියෙනවා.

            “ ආදරය නිසාම ජීවත් වෙන්නට වටිනේද? ඒ නිසාම මිය යන්නට වටිනේද? ජීවත්වන කෙටිකාලය තුළ එහෙ මෙහෙ දුවන ඡායාවන් මැද අපට ග්‍රහනය කරගත හැකි සිත් පිනවන දෙය ආදරයම ද? අඳුරේ පොර බදන අපේ ජීවිත තුළ අප කරන කියන දෑ අතර පවතින එකම පහන් එළිය එයම ද? “

            මේ පණ ගැහෙන මොහොතක් පාසා අපි උත්සාහා කරන්නේ අපිට ඕනි දේවල් අපේ කරගන්න. මිනිස්සු එයට කියන්නේ ආශාව කියලා. ආශාව නැතිතැන ජීවිතයක් තියේවි ද?

            නිදහස් චින්තක බොහීමියානු ආකල්පයක් ඇත්තෙකු තුළද ආශාවක් රෝපණය විය නොහැකි ද? මා විසින් මටම බොහීමියානුවෙකු යැයි ආමන්ත්‍රණය කරන කල්හී මා ඇත්තටම බොහීමියානුවෙක්ම විය හැකි ද? මිනිසා මෙසේ යැයි සම්මත කර හුවා දැක්විය හැකි ද? අවම වශයෙන් මට මාව අර්ථ දැක්විය හැකි ද?

            නැත…

            මම යන වාච්‍යාර්ථයම අබිරහසකි.

            ඇය පිළිබඳ ආලය මා සිත ගිලන් කළ බව මම පිළිගනිමි. මා ඇයව පුදනු ලැබුවේ අල්තාරය මත තබන ලද්දා වූ පහනක් මෙන්ය. පූජාසනය මත හොවාලූ පුෂ්පයක් ලෙස ය. හෘද ගර්භය තුළ තැන්පත් කළා වූ මාණික්‍යයක් ලෙස ය.

            ඉක්බිති මෙකී විප්‍රයෝගය හා මම මාගේ පූර්වතර හැඟීම් සසඳමි.

            හදවතක් යනු අකමැත්තක් පිළිගැනීමට අතිශය මැලිවන්නා වූ සජීවි වස්තුවක් ය. එබැවින් හදවතට අවැසි දෙයම කළ යුතු ය. නැතහොත් හදවත ගිලන් වන්නේ ය. අජීවී බවට පරිවර්ථනයව මිලාන වන්නේ ය.

            ඈ හා සම්බන්ධව පෙර කී මාගේ පූර්වතර ප්‍රේම හැඟීම අනුව ඇයගේ විප්‍රයෝගය මට මහා වේදනාවක් ගෙන දී ඇය වෙනුවෙන් මා ජීවිතය කැප කළ යුතු යැයි හැඟවිය යුතු ය. ඒත් හා සම්බන්ධිත වත්මන් තර්කන බුද්ධියක් මා සියල්ල අත්හැරිය යුතු බව හඟවයි. මා සියල්ල අත්හරින්නේ නම් ඈ සම්බන්ධව මා සතුව පෙර තිබුණේ සැබෑවටම ආලයක් ද? එසේනම් ඇයව පහසුවෙන් මා අත්හරින්නේ කෙසේ ද?

            පිරිමි හිතක් යනු සංකීර්ණ පැටළුම් සමුදායකි. එය හරියට කෙලෙවරක් නොපෙනෙනා වංකගිරියක් වැනි ය. අත්‍යාභ්‍යන්තරයට යන්නට යන්නට තව තවත් අතරමං වනවා විනා නිදහසේ ආලෝක පුංජයක් හෝ දැකගත නොහැක්කේ ය. ඉතින් කළ යුත්තේ වංකගිරියටම හුරු වීමක් මිස ඉන් එහා සැපතක් ගැන සිතීම නොවේ.

            මා පෙර කීවා සේම මාගේ සිත් වංකගිරිය තුළ මම ගමන් ගත් මඟ දැන් ද්විඛණ්ඩනයකට ලක්ව ඇත. මා මෙතෙක් ගමන් ගත් මඟ හෝ අළුත් මඟක් තෝරාගත යුතු ය. නමුත් මම දනිමි. කුමන මඟ තෝරාගත්තද මා තවමත් මේ පිරිමියා නම් වූ වංකගිරියේම සිරවී ඇති බව.

            ආලය පිළිබඳව අපමණ සම්මතයන් ඇත්තෝ ය.

            මිනිස්සු ආලයට බිය වෙති.

            මන්දයත් ආලයත් සමඟ එන්නා වූ විප්‍රයෝගය යනු අධික මිලක් ගෙවිය යුත්තා වූ ගණුදෙනුවක් වන හෙයිනි. ආලය කරන්නෝ කවදා හෝ මේ ගණුදෙනුවේ පැටලෙන්නෝ ය.

            මම විප්‍රයෝගය ජය ගන්නට සිතුවෙමි.

            “ සහෝදරයා… පිරිමි පැරදෙන්නේ නෑ… පිරිමි පාඩම් ඉගෙනගන්නවා… “

            නතාලියා පවසන්නී සමුධුර ගිලගන්නා රක්ත වර්ණ හිරු දෙස බලමිනි.

            “ අත්දැකීම් හරියට ඉර වගේ… කාලයක් අහසේ රැඳිලා අතුරුදන් වෙලා යනවා… ආයෙත් නියමිත වෙලාවට නියමිත තැන මතුවෙනවා…“

            මම බැස යන හිරු දෙස බලමි. ඒ අතරින් හෙට උදා වෙන නැවුම් හිරු සොයමි.

            “ අපි දැනගන්න ඕනි ඉර තියෙන වෙලාවට ඉරෙන් වැඩ ගන්න… ඉර නැති වෙලාවට ඉරෙන් කරන්න පුළුවන් වැඩ ගැන සැලසුම් හදන්න…“

            මම හිඳගෙනම සිටිමි. ඇය රේල් පාර දිගේ කෙළවරක් නොපෙනෙන අනන්තයට ඇවිද යන්නී නැවත හැරී නොබැලුවා ය. මම නැවතත් ක්ෂිතිජය දෙස බලමි.

            හිරු බැස යද්දී පරිසරය රක්තවර්ණයෙන් සරසන්නේ ය. හිරු අහසේ මුදුන්වෙත්දී මෙතරම් සුන්දරත්වයක් නැත්තේ ඇයි? මේ හිරුගේ නික්මයාම නිසා අහසේ කම්පාව විය යුතු ය. මේ හිරුගේ විප්‍රයෝගය නිසා වළාකුළේ ශෝකය විය හැක.

            නැතහොත්,

            මේ හෙට උදාවන අළුත් හිරු වෙනුවෙන් අහසේ අපේක්ෂාව විය හැකිය. මේ හෙට උදාවන අළුත් හිරු වෙනුවෙන් වළාකුළේ උත්තමාචාරය විය හැකි ය.

            ඇත්ත…

            “ සහෝදරයා, දිනපොත් වල පිටු ඉවර වුණාට ජීවිතයේ රචනාව ඉවර වෙන්නේ නෑ…“

@වාරා